LOLC හෝල්ඩිංග්ස් සතුව තිබූ සමාගමක් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පවරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී (LOLC) සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස පැවති LOLC Asset Holdings Limited (LAHL) සමාගම මෑතකදී ස්ථාපිත කෙරුණු LOLC සිලෝන් හෝල්ඩිංග්ස් (LOCH) සමාගම වෙත හුවමාරු කිරීමක් සිදු ව ඇතැයි LOLC සමාගම පවසයි.

LOLC සමූහයේ මූල්‍ය සේවාවන්හි සිදුකරන අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු යටතේ මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව 2023 මාර්තු 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පැවැති LOLC Asset Holdings Limited (LAHL) සමාගමේ 100%ක කොටස් ප්‍රමාණය LOLC Ceylon Holdings PLC වෙත හුවමාරු කරන බව සමාගම පවසයි.

මෙම හුවමාරුව සිදුවන අවස්ථාව වන විට එම කොටස් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 2.3ක් (2,338,789,510ක්) ලෙස ගණන් බලා ඇතැයිද LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

සමාගම වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම LOLC Asset Holdings Limited (LAHL) සමාගම සතුව එම සමූහයට අයත් සමාගම් රැසකම හිමිකාරීත්වය පවතින සමාගමකි.

ඒ අනුව LOLC Life Assurance Limited (Sri Lanka) සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වයක්, LOLC General Insurance PLC සමාගමෙහි 63.75%ක හිමිකාරීත්වයක් මෙන්ම කාම්බෝජියාවේ සෙරෙන්ඩිබ් මයික්‍රොඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි 10%ක කොටස් හිමිකාරීත්වයක් ලෙස එම හිමිකාරීත්වය පවතී.

එසේම මෙම සමාගමට අයත් LOLC Life Assurance Limited සහ LOLC General Insurance PLC යන සමාගම් දෙක සතුව කාම්බෝජයේ සෙරෙන්ඩිබ් මයික්‍රොඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි 45%ක් බැගින් වූ කොටස් හිමිකාරීත්වයක් පවතින බවත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 378