සිංගප්පූරු ගුවන් සමාගම එයාර් ඉන්දියා ගුවන් සමාගමේ 25.1%ක කොටසක් මිලදී ගැනීමට යයි

ඉන්දියාවේ TATA සමූහයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ 25.1%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනිමට සිංගප්පූරු ගුවන් සමාගම (Singapore Airlines) සූදානමින්ප සිටින බව පවසයි.

එයාර් ඉන්දියා ගුවන් සමාගම සහ TATA සමූහය සහ සිංගප්පූරු ගුවන් සේවය එක්ව පවත්වාගෙන ගිය අඩුමිල ගුවන් සේවය වන Vistara ගුවන් සේවය ඒකාබද්ධ කරමින් තනි ගුවන් සමාගමක් බවට පත් කිරීමේ TATA සමූහයේ සැලසුම් යටතේ මෙම අත්පත් කරගැනීම සිදුවීමට නියමිතව තිබේ.

මෙහිදී සිංගප්පුරු ගුවන් සමාගම මගින් සිදු කිරීමට යෝජිත ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 250ක් හෙවත් ඉන්දියානු රුපියල් මිලියන 20,585කි.

ඉදිරියේදී ලබාගත යුතු නියාමන අනුමැතියන්ගෙන් පසුව 2024 මාර්තු මාසයේදී පමණ මෙම ඒකාබද්ධ කිරිම සම්පූර්ණ වනු ඇතැයි සඳහන් වෙයි.

අද වනවිට එයාර් ඉන්දියා (එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් සහ එයාර් ඒෂියා ඉන්දියා) සහ Vistara ගුවන් සමාගම් සතුව පුළුල් බඳ සහ පටු බඳ සහිත ගුවන් යානා 218ක් පවතී. ඒ හරහා එම ගුවන් සමාගම් ලොව ජාත්‍යන්තර ගමනාන්ත 38කට සහ අභ්‍යන්තර ගමනාන්ත 52ක් වෙත සේවා සපයයි.

මේ අතර 1972 වසරේදී ආරම්භ වුණු සිංගප්පූරු ගුවන් සමාගම වෙත ආදර්ශයක් වූ එයාර් ඉන්දියා ගුවන් සමාගමේ 25.1%ක කොටස් ප්‍රතිශතයක් වසර 50කට පසුව මිලදී ගැනීමට සිංගප්පූරු ගුවන් සමාගම සමත් වීම සුවිශේෂී අවස්ථාවක් බවටද පත්ව තිබේ.

එවකට ආසියාවේ වඩාත් සාර්ථක ගුවන් සේවයක් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයේ ආරම්භකයා වූයේ TATA සමූහයේ නිර්මාතෘ ජෙහාන්ජිර් රටන්ජි දාදාබෝයි ටාටා හෙවත් ජේ.ආර්.ඩී ටාටාය. 1940 දශකයේදී ඇරඹුණු එම ගුවන් සේවය ජාත්‍යන්තර අහස්තලය වෙත ඉන්දියානු ධජය රැගෙනයාමට සමත්විය.

එහෙත් 1953 වසරේදී එම ගුවන් සමාගම ජනසතු කිරීමත් සමගින්ම එහි කඩාවැටිම ආරම්භ වූ අතර, දරුණු පාඩු ලැබූ එයාර් ඉන්දියා ගුවන් සේවය යළිත් ටාටා සමාගම වෙත අලෙවි කිරීමට ඉන්දියානු රජය මේ වසරේදී පියවර ගත්තේය.

Views: 15