භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති ලබන සතියේ මුදල් කාරක සභාව හමුවට
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ලබන සතියේදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (19) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කැඳවීම පිළිබඳව තීරණය වී ඇතැයි සඳහන් වෙයි.
වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙලෙස එම දෙපළ ඇතුළු නිලධාරීන් මෙලෙස මුදල් කාරක සභාව වෙත කැඳවීමට හේතුව වී තිබේ.
මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි එස්.ආර්. ආටිගල මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙතද පසුගිය මාර්තු මාසයේ 24 වැනිදා මෙවැනිම ආකාරයේ කැඳවීමක් මුදල් කාරක සභාව මගින් ලබාදී තිබූ අතර, එම අවස්ථාවේදී ඔවුන් ඊට සහභාගිවීමෙන් වැළැකී තිබුණි.
කෙසේ වෙතත් ඊට දින තුනකට පසුව ඔවුන්ට ඊට සහභාගි වන ලෙස දැනුම්දී තිබුණද, එම දෙපළ සිය ධුරවලින් ඉවත්වීම සිදුවන අවස්ථාව වන තෙක්ම එම කැඳවීමට අනුකූලතාවක් දක්වා නොතිබුණි.

Hits: 142