සමාගමක කොටස් මිලදී ගැනීම සහ අලෙවි කිරීම කළ යුතු අවස්ථාව ගැන මස්ක්ගෙන් උපදෙස්

අද වනවිට ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්, සමාගමක කොටස් මිලදී ගැනීම සහ එම කොටස් අලෙවි කිරීම සිදු කළ යුතු සුදුසුම අවස්ථා මොනවාද යන්න පිළිබද ආයෝජන උපදෙස් ලබාදීමක් පසුගියදා සිය ට්විටර් ගිණුම හරහා සිදු කර තිබේ.

 “මගේ හොඳම උපදේශය තමයි වෙළෙඳ පොළ කළබල වෙන කොට ඔබ කලබල නොවී ඉන්න.” මස්ක් මෙලෙස සිය මිලියන 90කට ආසන්න ට්විටර් අනුගාමිකයන් වෙත සටහනක් තබමින් පවසයි.

ආයෝජකයන් ලෙස තමන් විශ්වාසය තබන නිෂ්පාදන සහ සේවා ලබා දෙන සමාගම්හි කොටස් මිලදී ගන්නා ලෙසත් ඔහු උපදෙස් ලබා දෙයි.

එසේම ආයෝජකයන් ලෙස තමා මිලදී ගෙන ඇති කොටස් සහිත සමාගම්හි %නිෂ්පාදන සහ සේවා පසුබැසීමක් සිදු වෙනවා යැයි කියා හිතෙනවා නම්% පමණක් කොටස් අලෙවි කිරීම වඩාත් සුදුසු බවත් මස්ක් සඳහන් කරයි.

“මෙම තීරණය ඔබට දිගු කාලයක් පුරා ආයෝජනයේ යෙදීමට අවස්ථාව උදා කර දේවි.” මස්ක් පවසයි.

ෆෝර්බ්ස් සමාගමේ 2022 වසරේ බිලියනපතියන්ගේ ලැයිස්තුවට (real-time billionaires list) අනුව මස්ක් අද වනවිට ලොව ධනවත්ම පුද්ගලයා වන අතර, ඔහු සතු වත්කම ඩොලර් බිලියන 268.2 කි.

අද වන විට ඔහු ලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Tesla සහ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන සමාගමක් වන Space X හි හිමිකරුවා වෙයි. එසේම ඔහු පසුගියදා ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ සේවාවක් වන Twitter සමාගමද ඩොලර් බිලියන 44කට මිලදී ගත්තේය.

එසේම මෙම ගනුදෙනුවෙන් දින දෙකකට පමණ පසුව ඔහු තමන් සතුව තිබූ Tesla කොටස් මිලියන 4.4ක් ඩොලර් බිලියන 4කට අලෙවි කළ අතර, එම මුදල්ද Twitter අත්පත් කරගැනීම සඳහා යොදවනු ඇතැයි සඳහන් වෙයි.

Views: 517