ෆිච් රේටිංග්ස් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් නිකුතු හැකියාව පිළිබඳ වර්ගීකරණය CCC සිට CC දක්වා පහත හෙළයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය මගින් ශ්‍රී ලංකාව සතු දිගුකාලීන විදේශ මුදල් නිකුතු හැකියාව (LT IDR – Long Term Foreign Currency Issuer Default Rating) පිළිබඳ වර්ගීකරණය මෙතෙක් පැවැති CCC මට්ටමේ සිට CC දක්වා පහත හෙළීමට පසුගියදා කටයුතු කළේය.

විශේෂයෙන්ම මෙම ශ්‍රේණිගත කිරීමේ පහත හෙළීම ඉදිරි මාස කිහිපයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු බාහිර ද්‍රවශීලතා තත්ත්වය හොඳින් පෙන්නුම් කරවන්නක් බව එම ආයතනය සඳහන් කරයි. එහිදී මූලිකවම ඉහළ විදේශ ණය ආපසු ගෙවිමක් සහ අවම විදේශ මුදල් ගලා ඒමක් හමුවේ රට තුළ විදේශ විනිමය සංචිත අනුපාතයේ පවතින දරුණු කඩාවැටීම සිය ආයතනය විසින් ගණන් බලා තිබෙන බවත් ෆිච් රේටිංග්ස් පවසයි.

මේ අතර සිය අවසන් සමාලෝචනයේ දී බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවද ෆිච් රේටිංග්ස් ආයතනය කරුණු දක්වයි. විශේෂයෙන්ම විදේශ විනිමය සංචිතය අගෝස්තු මාසයේ සිට ඩොලර් බිලියන 2කින් පමණ අඩු වී ඇති අතර එය නොවැම්බර් අග වන විට ඩොලර් බිලියන 1.6 ක් දක්වා පහත වැටී ඇත්තේ මාසයකටත් වඩා අඩු විදේශ ගෙවීම්වලට හැකියාවක් පෙන්නුම් කරමිනි. ඒ අනුව 2020 වසර අවසානයේ සිට ගෙවුණු කාලසීමාවේදී රටෙහි විදේශ මුදල් සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4කින් පහත වැටී ඇතැයි එම ආයතනය සඳහන් කරයි.

“2022 සහ 2023 දී විදේශයන්ගෙන් හිමිවන නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැති විට රජයට සිය විදෙස් ණය ගෙවීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය වී තිබේ. මෙම ණය ආපසු ගෙවීම් පිළිබඳ බැඳියාව යටතේ 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් ඇතුළත් වී තිබේ. ඒ අනුව 2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක පොලී ද ඇතුළුව විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. මෙය නොවැම්බර් අවසන් වන විට පැවති ඩොලර් බිලියන 1.6ක විදෙස් සංචිතය මෙන් 430% ක් පමණ වේ. එසේම 2022 සිට 2026 දක්වා මුල් මුදල සහ පොළියද සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ මුදල් ණය සේවාකරණය ‌ඩොලර් බිලියන 26 කි”, යනුවෙන්ද ෆිච් රේටිංග්ස් ආයතනය මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

දැනට ශ්‍රී ලංකාව සතු මෙම බාහිර විදේශ මුදල් ලැබීමේ හැකියාව තවමත් පැහැදිලිතාවයකින් යුක්ත නැත. එසේම මෙම ණය සේවාකරණය සඳහා ප්‍රමාණවත් මුදලක් රට සතුව නොමැතිවීමේ අවස්ථාවක්ද පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහබැංකුව මගින් පසුගිය ඔක්තෝබර් මාසයේදී හයමාසික ඉදිරිදැක්මක් ප්‍රසිද්ධියට පත් කරමින් විවිධ මාර්ග ඔස්සේ මෙම විදේශ මුදල්ලබා ගැනීම් වර්ධනය කරගැනීම් පිළිබඳව සැලසුම් ඉදිරිපත් කළ බවත් එම ආයතනය සඳහන් කරයි. එහිදී ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ප්‍රභවයන්, ඇතැම් මූල්‍ය ආයතන මගින් ලබා ගන්නා ණය සහ 2021 පළමු කාර්තුවේදී ඌණ උපයෝජන වත්කම්හි මුදල් බවට පත් කරගැනීම යනාදියද විය.

“චීන මහජන බැංකුව සමගින් ඇති කරගන්නා විදේශ මුදල්හුවමාරු පහසුකම හරහා හිමිවන චීන යෙන් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන මුදලක්) මගින් රටෙහි විදේශ මුදල් සංචිත ප්‍රමාණ ඉහළ යා හැකිය. එහෙත් මෙම පහසුකම හරහා වුවද රටෙහි විදේශ විනිමය සංචිතය තවදුරටත් පීඩනයට යටත්වය පවතිනු ඇත. මීට අමතරව SAARC (South Asian Association for Regional Cooperation) හි මුදල් ක්‍රියාරාමුව හරහා ලබාදෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක විදේශ විනිමිය හුවමාරු පහසුකමද ඇතුළත්ව ඉන්දියාවෙන් ලැබෙන ආර්ථික සහයෝගිතා පැකේජය, කටාරයේ මහ බැංකුව සමගින් ඇති කරගන්නා විදේශ හුවමාරු පහසුකම යනාදී ක්‍රම ඔස්සේ රට තුළට විදේශ විනිමය ලැබීම් සිදුවුවත්, 2022 වසරේදී කිසිදු බාධාවකින් තොරව මෙම ණය සේවාකරණය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් බාහිර ද්‍රවශීලතාවක් පවත්වාගෙන යාම රජයට දැඩි අභියෝගයක් වනු ඇතැයි අපේ විශ්වාසය වී තිබේ.” යනුවෙන්ද ෆිච් රේටිංග්ස් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Hits: 96