සම්පත් බැංකුව සහ Ceylon Entrepreneurs’ Club එක්ව ‘Biztep’ දියත් කරයි

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් තුළ සැඟව ඇති ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් සම්පත් බැංකුව, ලංකා ව්‍යවසායකත්ව සමාජය (Ceylon Entrepreneurs’ Club – CEC) සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලද බව පවසයි.

විශේෂයෙන් තාරුණ්‍යයේ ව්‍යවසායකත්ව හැකියාවන් ඉහළ නැංවීම ජාතික වගකීමක් ලෙස සළකමින් ඔවුන් වෙනුවෙන් ව්‍යවසාය සැසි පැවැත්වීමට මේ යටතේ කටයුතු කිරීමට නියමිතය. Biztep ලෙස නම් කර ඇති එම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ විධිමත් ව්‍යවසායකත්ව අධ්‍යාපනය සංවර්ධනය කිරීම, ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීම මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාර දියුණු කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කොට ගෙන ඇත.

සම්පත් බැංකුවේ සම්පත් සවිය සමාජ සත්කාරක වැඩසටහන මගින් මේ  සඳහා සවි බලය සපයනු ලබයි. සම්පත් සවිය යනු මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වන සම්පත් බැංකුවේ ප්‍රමුඛ සමාජ සත්කාරක වැඩසටහනයි.

මෙම සහයෝගීතාව වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී තුසිත නාකන්දල, CEC හි සභාපති ආසිරි ගමගේ, ලේකම් අසංග ගමගේ සහ පුහුණු හා සංවර්ධන ජාතික සම්බන්ධීකාරක නිශ්ශංක අබේවික්‍රම යන මහත්වරුන් විසින් අත්සන් කරන ලදී.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් අබේසේකර, සම්පත් බැංකුවේ අලෙවි ප්‍රධාන කළමනාකාර පූජිත රාජපක්ෂ, සමාජ සත්කාර හා ආයතනික තිරසාරත්ව කළමනාකාර නුවන් පතිරණ මහත්වරුන් ද එක්ව සිටියහ.

මෙහි දැනුවත් කිරීමේ වැඩසටහන දෙසැම්බර් 14 වන දින ද පළමු සැසිය දෙසැම්බර් 16 දින ද පැවැත්වීමට නියමිත අතර මෙම සමස්ත වැඩසටහන හරහා ඊට සහභාගී වන තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාත්මක කළ හැකි හා නව්‍ය ව්‍යාපාර ආකෘතීන් තව දුරටත් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්පත් බැංකුව සහ CEC කටයුතු කරනු ඇත.

එසේම ව්‍යාපාර සඳහා උනන්දු වන්නන් හට ව්‍යාපාර සංවර්ධන සහය සේවා සපයන ආයතන හා පුද්ගලයින් සම්බන්ධ කර දීම සහ ඔවුන්ගේ දැනුම ලබා ගැනීම හා පුළුල් කර ගැනීම සඳහා වන විවෘත වේදිකාවක් සැපයීම ද මේ තුළින් සිදු වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී තුසිත නාකන්දල මහතා “සම්පත් බැංකුව ලෙස අපි නිරන්තරයෙන් මෙරට ව්‍යවසායක ප්‍රජාව නගා සිටුවීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සම්පත් සවියවැනි සමාජ සත්කාරක වැඩසටහන් තුළින් මනාව තහවුරු කොට තිබෙනවා. විශේෂයෙන් අපගේ සම්පත් සවියසමාජ සත්කාරක වැඩසටහන තුළින් ඒ සඳහා වන සුවිසල් දායකත්වයක් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ තුළින් සවිබල ගැන්වෙන Biztep වැඩසටහන ඊට තවත් සුවිසල් පිටිවහලක් වනු ඇති බව මගේ විශ්වාසයයි.”යනුවෙන් පවසා සිටියි.

තරුණ ව්‍යවසායකයන් උදෙසා වන මෙම සියලු zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගතව පැවැත්වීමට නියමිත අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම ඒ ඒ විෂය සම්බන්ධ විද්වතුන් විසින් එම සැසි මෙහෙයවනු ඇත.

ඒ තුළින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා ලියාපදිංචි කිරීම, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය, කළමනාකරණ මූලධර්ම, ව්‍යාවසායකත්ව නීතිය හා ව්‍යාපාර හඳුන්වා දීම වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙරට තරුණ තරුණියන් දැනුවත් කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ව්‍යවසායකත්ව සමාජයේ සභාපති ආසිරි ගමගේ මහතා සඳහන් කර සිටියේ “මෙරට තාරුණයේ ව්‍යවසායකත්ව හැකියාවන් හඳුනා ගනිමින් හා ඒවාට ශක්තියක් වෙමින් තාරුණය්‍යට මඟ පෙන්වීම සඳහා වන අධ්‍යාපන සැසි මාලාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සම්පත් බැංකුව සමඟ අත්වැල් බැඳගන්නට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙය මේ මොහොතේ ඉතා කාලෝචිත වැඩපිළිවෙලක් ලෙස මම දකිනවා.”යනුවෙනි.

Views: 132