First Capital Treasuries PLC මූලික මහජන කොටස් නිකුතුව අද (06 දා) විවෘත කෙරේ

ජනශක්ති සමූහයට අයත් ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක, First Capital Treasuries PLC සමාගම සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව (IPO) අද (දෙසැම්බර් 06) විවෘත කිරීමට නියමිතව තිබේ.

මෙහිදී සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි අලෙවි කිරීමේ අරමුණින් මෙම මූලික කොටස් නිකුතුව සිදු කරන බව First Capital Treasuries PLC සමාගම පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 7,695,000ක ප්‍රමාණයක් නිකුත් කිරීම සිදු වෙයි. එක් කොටසක් රුපියල් 39ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 300ක් (300,105,000) ලෙස ගණන් බලා තිබේ.

ගනුදෙනු සඳහා මෙම කොටස් ඉදිරිපත් කිරීම First Capital Treasuries PLC සමාගමේ මව් සමාගම වන First Capital Limited මගින් සිදු කරන බවත්, මෙහිදී එම සමාගමට අයත් First Capital Treasuries PLC හි 5%ක කොටස් ප්‍රතිශතයක් මෙලෙස නිකුත් කෙරෙන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම නිකුතුව හරහා First Capital Treasuries PLC වෙත කිසිදු ප්‍රාග්ධන රැස් කිරීමක් සිදු නොවන බව පෙන්වා දෙන සමාගම, සමාගමේ හිමිකාරීත්ව පදනම තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රමෝපායික සැලැස්ම මෙම මෙම මූලික කොටස් නිකුතුව හරහා සිදුවන බව පවසා සිටියි. එසේම සමාගම වෙත වඩා වැඩි ද්‍රවශීලත්වයක් ලබා ගනිමින් එහි සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරිමත් අරමුණ බව සමාගම සඳහන් කරයි.

First Capital Treasuries PLC හි මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය පසුගිය නොවැම්බර් 26 වැනිදා එළිදැක්වුණි. https://firstcapital.lk/fct/ හරහා එය වෙත පිවිසිය හැකිය.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙසද First Capital Limited සමාගම ක්‍රියා කරයි.

Hits: 159