Ex-Pack සමාගම 2021 ප්‍රථම අර්ධය තුළ ඉහළ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම, 2021 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලය (2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය) තුළ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇතැයි පවසයි.

පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී රු. බිලියන 2.065 ක ආදායමක් වාර්තා කළ එම සමූහය, මෙම වසරේදී එය රු. බිලියන 3.465 දක්වා 59% කින් වර්ධනය කරගැනීමට සමත් වී ඇත.  අප්‍රේල් සහ මැයි මාස වලදී නිෂ්පාදන කටයුතු වලට බාධා එල්ලවූ තත්ත්වයක් හමුවේ පවා මෙම ආදායම වාර්තා කරගෙන තිබීම විශේෂත්වයකි.

පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 1.460 ක් වූ සමාගමේ පිරිවැටුම, මෙම වසරේදී රු. බිලියන 2.319 දක්වා වර්ධනය වී ඇත. නිෂ්පාදන ප්‍රමාණයන් අතින් ගත්විට, අපේක්ෂිත වර්ධනය වූ 7.7% ඉක්මවා යමින්, පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධය තුළ 17.4% ක වර්ධනයක් වාර්තා කිරීමට සමාගම සමත් වී තිබේ.

Ex-Pack හි අනුබද්ධ සමාගම වන නෙප්චූන් පේපර්ස් (පුද්.) සමාගම [Neptune Papers (Private) Limited] ද මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ 13% ක වර්ධනයක් පෙන්නුම්කර ඇත.

ප්‍රථම අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල සලකා බලන විට, මෙම වර්ෂය සඳහා පූර්වකථනය කර ඇති ආදායම වන රු. බිලියන 5.865 ඉක්මවා යාමට Ex-Pack සමාගම සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් කොරුගේටඩ් ඇසුරුම් කර්මාන්තයේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වසරේ දෙවැනි අර්ධය තුළ ඉහළ යන බැවින්, මෙම මූල්‍ය වර්ෂය සඳහා අපේක්ෂිත ඉලක්ක පසුකර යාමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාසය පළකර සිටී.

සමාගමේ බදු-පසු ලාභය, පසුගිය වසරේ වාර්තා වූ රු. මිලියන 45 ට සාපේක්ෂව, මෙම වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 200 ක් ලෙස වාර්තා වේ (පසුගිය වසරේ ප්‍රතිඵල වලට COVID-19 හේතුවෙන් විශාල බලපෑමක් එල්ල විය). වසරේ ප්‍රථම අර්ධයේදී සමාගමේ කොටසක් සඳහා ඉපැයුම රු. 0.80 කි.  

මෙම මූල්‍ය ප්‍රතිඵල සහ, බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Ex-Pack සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුල්ෆිකර් ගවුස් මහතා මෙසේ පැවසී ය. “මෙම ප්‍රතිඵල අප බෙහෙවින් දිරිගන්වනසුලුයි. ලෝක ඉතිහාසයේ දුෂ්කරම කාලපරිච්ඡේදයකට ශක්තිමත් ලෙස මුහුණ දෙන අතරම විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරමින්, අපගේ කොටස් හිමිකරුවන්ට ඉහළමතලයේ වටිනාකම් තිළිණ කිරීමට අපට හැකියාව ලැබුණා. මේ සියල්ල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් සමාගමක් ලෙස අප සතු ස්ථානය නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස අප දකිනවා.”

Ex-Pack සමූහයේ සභාපති සත්තාර් කාසිම් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “අනාගතය සම්බන්ධයෙන් අපගේ දැක්ම ඉතාමත් සුභවාදී එකක්. ඉදිරියේදී රු. බිලියන 3 ක වියදමින් ඉදිකිරීමට නියමිත නව කර්මාන්තශාලාව සමගින් අපගේ නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. මෙමගින්, දැනට මෙට්‍රික් ටොන් 2,750 ක් වන අපගේ මාසික නිෂ්පාදන ධාරිතාව, 2025 වසර වනවිට මෙට්‍රික් ටොන් 4,000 දක්වා ඉහළ යාවි. එමෙන්ම අපගේ මූලික කොටස් නිකුතුව සඳහා දායක වූ සියලුම දෙනාට ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම කොටස් නිකුතුව 2021 නොවැම්බර් 10 දින,PACK යන ටිකර් සංකේතය යටතේ කොළඹ කොටස් හුවමාරුවේදී ආරම්භ වීමට නියමිතයි.”

Ex-Pack සමාගමේ නිෂ්පාදන අතරට කොරුගේටඩ් ඇසුරුම් වර්ග රාශියක් (Regular slotted cartons, die-cut cartons, laminated cartons) මෙන්ම, ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදාගන්නා සහ පාරිභෝගිකයන්ගේ විශේෂ ඉල්ලීම් අනුව නිපදවන ඇසුරුම් වර්ග රාශියක් ඇතුළත් වී ඇත. මේ අතරට, ඇඟලුම් වර්ග ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගනු ලබන හැඟර් සහිත විශේෂ ඇසුරුම් වර්ග සහ, මත්ස්‍ය ප්‍රවාහනයට යොදාගන්නා සැහැල්ලු පෙට්ටි වර්ගද ඇතුළත් ය.

තවද, මැතිවරණ දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරමින්, 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයේදී නවීන තාක්ෂණය භාවිතා කරමින් ඡන්ද පෙට්ටි නිෂ්පාදනය කිරීමටද සමාගම කටයුතු කළේ ය. ලොව පුරා පාරිභෝගික භාණ්ඩ, ඇඟලුම්, තේ සහ ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉහළම තලයේ සමාගම් හා සන්නාමයන් Ex-Pack සමාගමේ නිෂ්පාදන භාවිතා කරයි.

Views: 1077