“මැණිකේ මගේ හිතේ” ළග දැවටෙමින් ලංකාවේ ආර්ථිකයට ගත හැකි පාඩම Advocata කියා දෙයි

පසුගියදා මෙරට තුළ මෙන්ම විදේශයන්හිදීද අතිශය ප්‍රසිද්ධියට පත් වූ “මැණිකේ මගේ හිතේ” ගීතය ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ගලපමින් මෙරට ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනය අදහස් දැක්වීමක් සිදු කර ඇත.

‘මැණිකේ මගේ හිතේ” ගීතයේ ආර්ථික විද්‍යාව නමින් මෙය ඉදිරිපත් කර ඇති අතර මූලිකවම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලෝකයට විවෘත වීම හරහා ලැබෙන වාසිසහගත තත්ත්වයන් මෙහි දක්වා තිබේ. පහත දැක්වෙන්නේ එම අදහස් දැක්වීමයි. 

ගුවන් විදුලිය සහ රූපවාහිණිය ජනප්‍රිය වුණු කාලේ ගායකයෙක්ට තමන්ගෙම ගීතයක් ප්‍රචාරය වෙනවා කියන්නෙ ඉහේ මලක් පිපුණා වගේ තමයි. ප්‍රචාරය කිරීම සැලකුවෙ ගෞරවයක් විදියට. ජනප්‍රියභාවයෙන් ලබා දෙන ගෞරවයට අමතරව කතෘභාගය කියල මුදලකුත් ගෙව්වා ගායකයට, සංගීතවේදියාට සහ පද රචකයට. කාලය වෙනස් වුණා. පස්සේ ගීතයට කතෘභාගය ගෙවීම කෙසේ වෙතත් ගීතය ජනප්‍රිය කරල දෙන්න අදාල නාලිකාව සල්ලි ගත්තා. ගීත ජංගම දුරකතනව වල “රිගිං ටෝන්” වලට ලබා දීලා අදාල ගීතවල අයිතිකරුවන් මුදල් උපයා ගත්තා. හැබැයි ඔය හැම තැනකම එක දෙයක් පොදුයි. ඒ තමයි අදාළ ගායකයට, පද රචකයට සහ තනු නිර්මාණයට ලංකාව කියන දූපත ඇතුළට සීමා වීම. 

ඒ යුගයත් අවසන් වෙලා දැන් ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට. ඒතමයි සංගීතය ලෝකයත් එක්ක ගණුදෙනු කරන යුගය. ඒ වගේම ඒ තමයි යූ ටියුබ් යුගය. යූ ටුබ් හරහා ගීතය ජනප්‍රියවෙනවනම් එම නැරඹුම් වාර ගානට අනුව මුදල් ලැබෙනවා.  යුගය මොකක් වුණත් මේ හැම යුගයකම ගීතය පිටිපස්සේ ආර්ථික විද්‍යාවක් තිබ්බා. යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ” ගීතය ලොව පුරා ජනප්‍රියවීමත් එක්ක නැවතත් ගීතය පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව අවබෝධකර ගැනීම වටිනව. ඒ වගේම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික දියුණුවක් ළගා කර ගනීමට අවශ්‍ය මූලික කරුණු යොහානිගේ ගීතය ජනප්‍රිය වීමෙන් පෙන්නුම් කරනවා. 

සරළවම කියනවනම් 

  1. විශාල වෙලදපොළක් ස්පර්ශ කිරීමේ වැදගත්කම සහ එලෙසෙ කිරීමෙන් ආදායම් උපාය ගත හැකි ධාරිතාව

2. ලෝකය සහ විශාල වෙළදපොලවල් සමග තරග කිරීමේ වැදගත්කම 

3. කාලයට අනුරුප වන මාධ්‍ය භාවිතාව සහ ලෝකය සමග විවෘත වීම 

4. ශ්‍රී ලාංකික අනන්‍යතාවයට අන්තර්ජාතික ලෙස තරග කිරීමේ ඇති හැකියාව යන කරුණුයි.

බොහෝ දෙනෙක් ගීතය පිටිපස්සෙ ආර්ථික විද්‍යාව තියනව කියල කිව්වම හිතන්නේ වැරදි දෙයක්.  “බලන්න දැන් පොඩි සිංදුවක් කියන්නත් සල්ලි ගන්නවා. වෙළඳදැන්වීම් වලින් මේ අය සල්ලි හම්බ කරනවා. අපේ කාලෙ එහෙම නෙවෙයි. සංගීතය මුදලට විකිණිලා. ශාස්ත්‍රීය ගීත වගේ නිවුණු බවක් නෑ. සිංදුව මැද්දෙ රැප් කියල කෑ ගහනවා” වගේ අදහස් සහ වාණිජකරණයට එරෙහි අදහස් තමයි වැඩිපුරම තියෙන්නෙ. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඉතින් එම සංගීතය ලෝකයත් එක්ක පරිණාමනය වීමේදී ඇතිවුණු විවිධ සංගීත රටා තියනයවා. එක එක මිනිස්සුන්ට ඒ සංගීතය තමන්ගේ හදවතට දැනෙන ප්‍රමාණය අනුව ඒ සංගීතය වැළඳ ගන්නවා.

 යොහානි සහ සතීශන්ගේ සංගීතයත් ඒ විදියට ලෝකයේ බොහෝ දෙනෙක්ගේ හදවතට අතුලු වෙලා. ආපසු හැරිල බැලුවොත් ඇත්තටම වුණේ අනිත් හැමදෙයක් වගේම ගීතය සහ සංගීතයත් වෙළදපොළ ක්‍රමයට ඇතුළත් වීමෙන් එම නව යුගයට අනුගත වුණු ගායකයන්ට වැඩිම වාසියක් ලැබීමයි. 

ඒත් සංගීත ක්ශේත්‍රයත් හරියට ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය වගේ තමයි. ලෝකයට අනුගත වෙන්න ප්‍රමාදයි. ශ්‍රී ලංකාවේ සීමාව ඔබ්බවා යන ක්‍රමයක් හිතන්නෙ නෑ. අහබු ලෙස එක තැනක දෙකක ලෝකයට සම්භන්ධ වුනා ඇරෙන්නෙ වැරදි මූලික සංකල්ප මත තමයි නිතරම දුවන්නෙ. 

යොහානිගේ ගීතයේ සාර්ථකත්වය තමයි ඉන්දියානු වෙළදපොළ ආක්‍රමණය කිරීම. මූල්‍යමය අතින් වැඩි මුදලක් උපයාගැනීමට හැකියාව ලැබෙන්නේත් විශාල පිරිසකට මෙම ගීතය රැගෙන ගියොත් පමණයි. ඒ අනුව ඉන්දියානු වෙළදපොළට ගැළපෙන ලෙස එම ගීතයේ දෙමළ සංකලනය නිර්මාණය කිරීම වැනි දේවල් දැක ගත හැකි වුණා. 

එහි ආර්ථික විද්‍යාත්මක තේරුම තමයි විශාල වෙළදපොළට ගැළපෙන ලෙස නිර්මාණ කටයුතු කිරීම සහ විශාල වෙළදපොළක් තුළ තරඟකාරී කිරීම තමයි වැඩි ආදායමක් සහ මුදලක් උපයා ගැනීමට තිබෙන එකම මාර්ගය. ඒ සදහා විශාල වෙළදපොළවල් සමග තරග කිරීම හැරෙන්න වෙන විකල්පයක් නෑ. තරග කරනවා කිව්වම බොහෝ දෙනෙක් හිතන්නෙ “අපි කොහොමද ලෝකය එක්ක තරග කරන්නෙ, අපි කොච්චර පොඩිද? “ වගේ දේවල්. නමුත් යොහානි සහ සතීශන් එය එසේ නොවන බව ඔප්පු කළා. ඔවුන්ගේ සංගීතය විශාල ප්‍රසංගාත්මක වෙළඳපොළක් ඇති ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නලුවකු වන අමිතාබ් බච්චන් ගේ හදවත සොරා ගැනීමත් එක්ක ලෝකයේම අවධානය දිනා ගත්තා. විශාල වෙළඳපොළක් සමග ගණුදෙනු කිරීමේ වටිනාකම සහ වාසිය වන්නේත් එහි එක කුඩා කොටසක් අල්ලා ගැනීමෙන් මුලු වෙළඳපොළම ඉක්මනින් අතික්‍රමණය කිරීමට හැකි වීමයි. 

යොහානිගේ ගීතය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගළප ගන්නේ කොහොමද?   

ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් එක තැන පල් වීමට මූලික හේතුවක් තමයි ලෝකය සමග විවෘත නොවීම. ඉන්දියාව මුවදොරේ සිටියත් අපට තවම ඉන්දියාණු වෙළදපොළ ආක්‍රමණය කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ නිසයි. 

වෙළදපොළ විවෘතවීම කිව්වම බොහෝ දෙනෙක් හිතන්නේ ලෝකයේ තියන ඕනම දෙයකට ලංකාවට එන්න දෙනවා, ඇවිල්ල අපේ දේවල් ඔක්කොම අරං ගිහිල්ල අපිට මුකුත් නැති වෙලා අපිව නැත්තටම නති වෙලා යනව වගේ අදහසක්. ඒක නිසා විවිධ බදු වර්ග දාල, වෙනත් රටවල් වල මිනිස්සුන්ට අපේ රටේ ව්‍යාපාර කරන එක නවත්වල, අපේ ව්‍යාපාර අපිම රැක ගන්න ඕන, අපේ දේම ගන්න ඕන, අනෙක් රටවල් වල දේවල් ගන්න හොද නෑ වගේ විවිධ මත තියනවා. ඒත් එය එසේ නොවන බව මැණිකේ මගේ හිතේ ගීතය තවත් වරක් තහවුරු කළා. 

 ඒ වගේම එම ගීතය සිංහල ගීතයක් වීමත් තනුව විශ්වීය වීමත් නිසා අපට අපේම දෙයක් ලෝකයට රැගෙන යාමට සහ ලෝකය සමග තරඟ කිරීමට හැකි බවත් නැවත ඔප්පු වුණා.

ඒ අර්ථයෙන් ගත්තොත් සංගීත වෙළදපොළ කියන්නෙ අපිට තහංචි දාල නවත්වන්න පුලුවන් දෙයක් නොවෙයි. තාක්ෂණය අතින් ගීතය නිෂ්පාදනයේදී විශාල පරතරයක් තිබුණත්,  ඩිජිටල් මාධ්‍ය හරහා ලෝකයේ ඕනෑම රටක ගීතයක් ඕනෑම  ඕනෑම වෙලාවක දැන් යූ ටියුබ් ඇතුලු විවිධ ඩිජිටල් මාධ්‍ය හරහා නැරැඹිය හැකියි. සරළව කියනවනම් තරග කිරීමට දැන් තිබෙනේ සමාන වටපිටාවක්. දක්ෂයාට එළියට එන්න ලේසියි. 

එම නිසා තරඟයෙන් ඉවත් වෙලා සැගවී සිටීමට උත්සහ කිරීමම තේරුමක් නොමැති කර්තව්‍යයක්. අපගේ ආර්ථිකයයේදිත් අප ඉන්දියානු වෙළඳපොළ සමග සම්බන්ධ කළයුතු වන්නේ ඒ නිසා. එය එතරම් ජනප්‍රිය මතයක් නොවුණත් අප යොහානිගේ ගීතය ජයග්‍රහණයක් ලෙස දකිනවානම් අපේ ආර්ථිකයත් ඉන්දියාණු වෙළදපොළ ජයගැනීමට හැකි ලෙස තරගකාරී කිරීමෙන් අප කළ යුතු වන්නේත් එම උපක්‍රමයි. එය උපක්‍රමයකට වඩා සැබවින්ම එය යථාර්ථයයි. අප යථාර්තයට මුහුණ දිය යුතුයි. 

වෙළදාම අතින් ගත් කල අපි තවමත් වැඩිපුරම අපනයන කරන්නේ යුරෝපා සංගමයට සහ ඇමරිකා එක්සත් ජනපදයටයි. වියදම අතින් සහ කාලය අතින් යන දෙකෙන්ම අපට සැබවින්ම වඩාත් පහසුවෙන් ගණුදෙණු කළ හැකි වන්නේ ඉන්දියාව සමගයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙනුත් ඉන්දියානු සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනවා. ඒ වගේම චීන ජාතික සංචාරකයන්. අප ආසියානු කලාපයේ තිබෙන වෙළදපොළවල් අන්තර්ජාතික වෙළදාම මගින් අතික්‍රමණය කිරීම අපට ශ්‍රී ලංකාවට ඩොලර් උපයාගැනීමට සහ සංවර්ධනයට ඇති හොදම සහ පහසුම මාර්ගයයි. 

මෙය සංගීතයට පමණක් පොදු දෙයක් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේත් තත්ත්වය ඒ හා සමානයි. වනිදු හසරංග සහ චමීර දුශ්මන්ත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට කැදවා තිබෙන බව සදහන් වෙනවා. ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය කියන්නේ විස්සයි විස්ස තරගවල තරගකාරීබවේ කූටප්‍රාප්තියයි. එම හැකියා මට්ටමට තරග කළ හැකි මට්ටමේ ඕනෑම අයෙක්ට සහ එම තරගකාරී වෙළඳපොළ ස්පර්ශ කළ හැකි ඕනෑම අයෙක්ට විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මීට කලින් ලසිත් මාලිංගත්, පුහුණු කරුවෙකු ලෙස මහේල ජයවර්ධනත් දැන් වනිදු හසරංග සහ දුශ්මන්ත චමීරත් නැවත ඔප්පු කරමින් සිටින්නේ මේ යථාර්ථයයි.

ශ්‍රී ලංකාවත් ආර්ථිකයක් ලෙස ඉදිරියට යාමට අපට අපේ අත ළගම ඇති වටිනාම වෙළදපොළ ඉන්දියානු වෙළදපොළයි. අප සැවොම ඉතා ගෞරවයෙන් කතා කරන බුදු දහම, තාක්ෂණය අපට පැමිණියේත් ඉන්දියාවෙන් නම්, ඔවුන්ගේ වෙළඳපොළ ප්‍රමාණයෙක් විශාලයි නම් ඔවුන්ගේ වෙළදපොල අපේ ආදායම් උපයා ගැනීමේ දොරටුවයි. යොහානි තරුණ වයසේදීම අපට ඉගැන්වූ ලොකුම පාඩම එයයි.

Hits: 218