CLC ඇතුළු LOLC සමූහයේ සමාගම් දර්ශක අගයන් ඉහළ නංවයි

අද (අගෝස්තු 24) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වුවත්, ඊයේ දිනයට සාපේක්ෂව පිරිවැටුමේ, ගනුදෙනු සංඛ්‍යාවේ සහ දර්ශක අගයන්හි ඉහළ යාමේ අඩුවීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මෙහිදී ගනුදෙනු සඳහා අඩු කොටස් සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම දිනය තුළදී 49.7%කින් ඉහළ යාම සිදුවිය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා එය ඒකක 125කින් දායක වී තිබේ. එසේම LOLC සමූහයට අයත් සමාගම් අද දිනයේදී දර්ශක අගයන් ඉහළ නැංවීමට වැඩි දායකත්වයක් ලබා දී ඇත.

මීට අමතරව දිනය ආරම්භයේදී වටිනා කොටස් මිලදී ගැනීම සඳහා වන උනන්දුව ඉහළව තිබුණත්, දිනයේ අග භාගයේදී ආයෝජකයන් මාසය අග ලාභ ඉපැයීම් වෙත යොමුවීමත් සමග පෙර පෙන්වූ වර්ධනය යම් තරමකින් අඩු වූ බවද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,479.65ත් ඒකක 8,719.22ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,667.95ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 23) දිනයට සාපේක්ෂව ඒකක 188.30ක් එනම් +2.22%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනු පිරිවැටුමෙන් 3.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 107ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 91ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+124.7), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+21.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+17.1), හේලීස් පීඑල්සී HAYL (+11.8), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.7), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-12.1), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-9.2), ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් පීඑල්සී SLTL (-2.8), ටී ජේ ලංකා පීඑල්සී TJL (-1.9), හේලීස් ෆැබ්රික් පීඑල්සී MGT (-1.9යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,175.73ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 23දා) ‍ට සාපේක්ෂව ඒකක 27.77ක එනම් +0.88%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.96ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 20දා) වාර්තා කළ රුපියල් බිලියන 10.8ට සාපේක්ෂව 7.8% ක පහළ වැටීමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.86ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 30.32%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 53.09ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 296.58ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 243.49කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.49ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.25 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 115.93ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,353 සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,302ක සහ රුපියල් මිලියන 1,732ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 321