රේනුකා කැපිටල් විධායක සභාපති ෂමීන්ද්‍ර රාජියාහ් රු.මිලියන 100කට සිය කොටස් සියල්ල විකුණයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා කැපිටල් පීඑල්සී සමාගමෙහි (KZOO.N0000) විධායක සභාපතිවරයා ලෙස කටයුතු කරන ෂමීන්ද්‍ර රාජියාහ් මහතා සමාගම තුළ තමන් සතුව තිබූ කොටස් මිලියන 10ක් (10,500,380) අලෙවි කර ඇතැයි පවසයි.
පසුගිය අගෝස්තු 13 වැනිදා මෙම අලෙවි කිරීම සිදු කර තිබේ. මෙහිදී ෂමීන්ද්‍ර රාජියාහ් මහතා තමන් තනිවම මිලදී ගෙන තිබූ රේනුකා කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් මෙන්ම සිය බිරිඳ වන ජේ.ජේ.බී.ඒ. රාජියාහ් මහත්මිය සමගින් හවුලේ මිලදී ගෙන තිබූ කොටස්ද අලෙවි කිරිමක් සිදු කර තිබේ.
ඒ අනුව ඒ මහතා අලෙවි කර ඇති තමන් සතුව තිබූ කොටස් ප්‍රමාණය කොටස් 4,098,850 කි. එසේම ඔහු සහ බිරිඳ එක්ව මිලදි ගෙන තිබූ කොටස් ප්‍රමාණය කොටස් 6,401,530 කි. ඒ අනුව හිමිකම් සහිත කොටස් සංඛ්‍යාව 10,500,380 කි.
මෙහිදී කොටසක් රුපියල් 9.10ත් රුපියල් 10ත් අතර මිලකට අලෙවි කෙරී ඇත. ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම සාමාන්‍යයක් ලෙස රුපියල් මිලියන 100ක් (100,278,629) වෙයි.
ඊයේ (අගෝස්තු 19දා) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 10.50ක් ලෙස පත්ව තිබුණි.
2021 වසර සඳහා වන සමාගමේ මූල්‍ය වාර්තාවට අනුව 2021 මාර්තු 31 වැනිදා වනවිට රේනුකා කැපිටල් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 4,098,850ක් ෂමීන්ද්‍ර රාජියාහ් මහතා සතුව තිබී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 2.36%කි. එසේම ඒ මහතා සහ බිරිඳ අතර හවුලේ කොටස් 6,401,530ක් තිබී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 3.68%කි. ඔවුන් දෙදෙනාගේම කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය 6.04%කි.
ඒ අනුව මෙම අලෙවියේදී ෂමින්ද්‍ර රාජියාහ් මහතා සහ බිරිඳ තමන් සතුව රේනුකා කැපිටල් පීඑල්සී හි තිබූ සමස්ත කොටස් ප්‍රමාණයම අලෙවි කර දමා තිබේ.
ෂමීන්ද්‍ර රාජයිහා මහතා රේනාකු සමූහයේ සභාපති ආචාර්ය එස්.ආර්. රාජයිහා මහතාගේ පුත්‍රයාය. අද වනවිට ෂමීන්ද්‍ර රාජයිහා මහතා රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි, රේනුකා ෆුඩ්ස් පීඑල්සී සහ රේනුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී, ෂෝවෙලස් සිලෝන් ලිමිටඩ්, රිච්ලයිෆ් ඩේරීස් ලිමිටඩ් යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. එසේම රේනුකා සමූහයේ සමාගම් අධ්‍යක්ෂවරයා ලෙසද ඒ මහතා කටයුතු කරයි.

Hits: 1149