ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රය වෙත ආයෝජනයට ඉන්දියානුවන්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියානු පෞද්ගලික අංශයට ආරාධනා කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා වෙත පවසා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

2021 අගෝස්තු 03 වැනි දින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විදේශ අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව පිළිබඳව අවධාරණය කරමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. 

මෙහිදී අදහස් දක්වා ඇති මහකොමසාරිස්වරයා රජයේ එම පියවර අනුමත කරමින්, පුනර්ජනනීය බලශක්ති අංශයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දියානු ආයෝජකයින් උනන්දු වන බව සඳහන් කර ඇත.

පුනර්ජනනීය බලශක්තිය, ගුවන් සම්බන්ධතාව, අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ව්‍යපාර පිළිබඳ ඒකාබද්ධ කොමිසම්,  ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය සඳහා තාක්‍ෂණික සහයෝගීතාව සහ බිම්ස්ටෙක් සංවිධානයේ කලාපීය සහයෝගීතාව වැනි පුළුල් පරාසයක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය පවසයි.  

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දීය රජයට සහ එහි ජනතාවට ස්තූතිය පිරිනැමූ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා,  ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම  පිළිබඳව ප්‍රශංසා කර තිබේ.

සම්පූර්ණයෙන් එන්නත් ලබා දී ඇති ඉන්දියානුවන් සඳහා මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳව අගය කර ඇති මහ කොමසාරිස්වරයා, එසේ සීමා ඉවත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයටම ඉමහත් ප්‍රතිලාභ ලැබෙන බව පවසා තිබේ.

මේ අතර, දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇතැයිද විදේශ අමාත්‍යාංශය පවසයි.

එසේම බෞද්ධ වන්දනා වැඩසටහන් වැනි සංස්කෘතික හා ආගමික අංගවලින් සමන්විත මෙම සන්ධිස්ථාන සැමරුමේ දී, වඩාත් වැදගත් ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මඟින්, දෙරට අතර පවත්නා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

Views: 65