සාර්ථක ගනුදෙනු සමගින් දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.5 ඉක්මවයි

අද (අගෝස්තු 03) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම EXPO සහ TILE සමාගම් සඳහා වන ආයෝජන ආකර්ෂණය ඉහළින් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය තුළදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් වටිනාකම් යථාවත්වීම සහ එල්ඕඑල්සී සමූහයේ කොටස් වටිනාකම් පෙන්නුම් කළ ඉහළ යාම වෙළෙඳ පොළ සාර්ථකත්වය සඳහා දායක වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේදී පිරිවැටුම රුපියල් බිලියන 6.5ක් ඉක්මවා තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 8,148.02ත් ඒකක 8,237.69ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,222.55ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 02) දිනයට සාපේක්ෂව ඒකක 74.53ක් එනම් +0.91%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස්, ටීජේ ලංකා, හේලීස් පීඑල්සී, සිලෝන් ග්‍රේන් එලවේටර්ස්, එල්ඕඑල්සී සහ රෝයල් සෙරමික්ස් ලංකාහි කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 7.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 98ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 101ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+27.35), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+12.6), වැලිබල් වන් පීඑල්සී VONE (+10.79), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.19), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+4.0), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-3.86), සිලෝන් බෙවරේස් හෝල්ඩිංග්ස් පීඑල්සී BREW (-3.43), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (-1.99), කොමර්ෂල් බැංකුව COMB (-1.52), සම්පත් බැංකුව SAMP (-1.29යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,111.15ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 02දා) ට සාපේක්ෂව ඒකක 38.77 ක එනම් +1.26%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.65ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 02දා) වාර්තා කළ රුපියල් බිලියන 4.09ට සාපේක්ෂව 62.4% ක ඉහළ යාමකි. විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.64ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 23.08%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 136.59ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 627.51ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 490.92කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.35ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ACL කේබල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.85 කි. එසේම ටීජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 224.62ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,885ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,649 ක සහ රුපියල් මිලියන 996ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 233