මෙරට ආර්ථික කලාපවල සහ කොළඹ වරාය නගරයේ ආයෝජනයට නවසීලන්තයට ආරාධනා

මෙරට ප්‍රථම නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පසුගිය ජූලි 28 වැනිදා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා හමුවූ බව එම රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහිදී අභිනව මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් රාජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර පවත්නා සුහද සබඳතා ගොඩනගා ගැනීම සඳහා පවතින හැකියාව පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම නවසීලන්තය සමඟ වෙළඳ සබඳතා තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ හා පුළුල් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළ එතුමා, අනාගත නවසීලන්ත ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල, විශේෂයෙන් ආර්ථික කලාපවල සහ කොළඹ වරාය නගරයේ පවතින අවස්ථාවන් පිළිබඳව අවධාරණය කළ බවද රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සහ මහ කොමසාරිස් ඇපල්ටන් මැතිතුමා, රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෑතක දී දියත් කරන ලද නිර්මාණාත්මක ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳ වැඩසටහන තුළ දෙරට අතර සහයෝගිතාව ඇති කරගත හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

එසේම ක්‍රීඩා, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල වැඩිදුර සහයෝගීතාව කෙරෙහි ද ඔවුහු අවධානය යොමු කර ඇත. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව සිට ඇත.

Views: 38