රු. මිලියන 250ක් රැගෙන ප්‍රංශ නාවිකයන් 750ක් අද මෙරටට

ප්‍රංශ නාවියක භටයන් 750 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ‘සංචාරක බුබුල’ සංකල්පය යටතේ අද දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් පැමිණෙන මෙම පිරිස ලබන 11 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.

මෙම දින කිහිපය තුළදී එම නාවිකයන් පිරිස මෙරට ස්ථාන කිහිපයකම සංචාරය කිරීමටද නියමිතව තිබේ. ඒ යටතේ හෙට දිනයේදී ඔවුන් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කරන අතර ඒ සඳහා මෙතෙක් සංචාරකයන් සඳහා වසා දමා තිබූ එම වනෝද්‍යානය හෙට දිනයේදී විවෘත කිරීමටද එහි බලධාරීන් කටයුතු යොදා ඇත.

විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් මෙම සංචාරක කටයුතු සම්බන්ධීකරණය කෙරේ. මෙහිදි සියලුම කොවිඩ්-19 මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම අවස්ථාව සංවිධානය කිරීම සැලසුම වී තිබේ.

යාල වනෝද්‍යානයේ සංචාරයට අමතරව මෙම නාවිකයන් පිරිස සීගිරිය, උඩවලව, මින්නේරිය යන ස්ථාන වෙත සංචාරය කිරීමටද නියමිතව තිබේ. පැමිණෙන මෙම නාවිකයන් සියලු දෙනා සම්පූර්ණ කොවිඩ්-19 මර්දන එන්නත්කරණයට ලක්කර ඇතැයිද ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය පවසා සිටියි.

මේ අතර මෙම නාවිකයන් 750 දෙනා හරහා රුපියල් මිලියන 250ක ආදායමක් මෙරටට හිමි කරගත හැකි වනු ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

එහිදී රුපියල් මිලියන 125ක් මෙම නෞකා කොළඹ වරායට පැමිණීම සහ අදාළ නාවිකයන්ගේ හෝටල් පහසුකම් ගාස්තු ලෙසද,තවත් මිලියන 120ක් අනෙකුත් ආදායම් ලෙසද ගණන් බලා තිබේ.

Views: 279