LB සහ Vallibel සඳහා වූ උනන්දුව ඉහළ ගියත් දර්ශක අගයන් පහළ බසී

පිට පිට දින පහක් පුරා පෙන්නුම් කළ සාර්ථකත්වය බිඳ වැටෙමින් අද (ජූනි 02) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු යම් පසුබැසීමක් ඇති වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම ආයෝජකයන් ලාභ ඉපැයීම් වෙත යොමුවීම සඳහා වූ කොටස් අලෙවිය ඊට හේතුව වී තිබේ.

මේ අතර ලාභාංශ නිවේදන නිසා එල්.බී. ෆිනෑන්ස් සහ වැලිබල් ෆිනෑන්ස් සමාගම් කොටස් සඳහා වන උනන්දුවද ඉහළ යාම සිදුවිය. එසේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ කොටස් මිලදී ගැනීම් සඳහා වන උනන්දුව ඉහළ යෑම්ද තවදුරටත් ශක්තිමත්ව පැවති බව සඳහන් වෙයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,418.41ත් ඒකක 7,469.67ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,436.55ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 01) දිනයට සාපේක්ෂව ඒකක 13.99ක් එනම් -0.19%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව කොමර්ෂල් බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 7.1%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 89ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+3.51), වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී VFIN (+3.23), ඊබීක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (+2.76), හැටන් නැෂනල් බැංකුව HNB (+2.38), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.05), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-8.61), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-5.11), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.92), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.89) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,000.92ක අගයක් ගත් අතර, එය ඊයේ (01දා) ‍ට සාපේක්ෂව ඒකක 1.39 ක එනම් -0.05%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.14ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (01දා) වාර්තා කළ රුපියල් බිලියන 2.91ට සාපේක්ෂව 26% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.28ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.89%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 40.79ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 56.3ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 15.51කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 25.36ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.65 කි. එසේම එල්බී ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 20.07ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 573ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 446ක සහ රුපියල් මිලියන 403ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 369