හේලීස් ෆැබ්රික් මැහෝගනී ශාඛයෙන් රෙදි වර්ණ ගන්වයි

දේශීයව මෙන්ම විදේශීයවද ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි පිළි නිෂ්පාදනයේ යෙදෙන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම සිය නවතම හඳුන්වාදීම ලෙස මැහෝගනී ශාඛයෙන් (Swetenia Mahogani) ලබා ගන්නා ස්වාභාවික පැහැයන්ගෙන් සිදු කළ රෙදි වර්ණ ගැන්වීමක් ඉදිරිපත් කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙරට ගෘහභාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයෙන් ඉවතලන මැහෝගනී ශාඛයේ පතුරු කොටස් යොදා ගනිමින් මෙම වර්ණක සකස් කරගන්නා බවත්, අනතුරුව එම වර්ණක තනිව සහ තවත් කෘත්‍රිම වර්ණක හා මිශ්‍ර කරමින් සකස් කරගන්නා වර්ණක යොදා ගනිමින් මෙම රෙදි පිළි එකිනෙකට වෙනස් පැහැයන්ගෙන් වර්ණ ගැන්වීම සිදු කරන බවත් සමාගම සඳහන් කරයි.

මේ පැහැයන් හරහා රෙදි පිළි වෙත වඩාත් සුවිශේෂී ඉපැරණි ලක්ෂණයක් ලබා ගත හැකි වීම මෙන්ම මෙය රෙදි පිළි වර්ණගැන්වීම සඳහා හඳුන්වා දෙන සුවිශේෂී තිරසාර ක්‍රමවේදයක් වීමත් කැපී පෙනෙන අවස්ථාවක් බව හේලීස් ෆැබ්රික් පීඑල්සී සඳහන් කරයි.

මේ අතර මැහෝගනී ලී සතුව ඊටම ආවේණික වූ සුවඳක් පවතින බවත්, ඊට අමතරව මෙම මැහෝගනී සතුව විවිධ ඖෂධීය වටිනාකම් රැසක්ම පවතින බවත් පැවසෙයි.

“මල්, පත්‍ර, මුල් මෙන්ම ගෙඩි යනාදිය තුළ පවතින ස්වාභාවික පැහැයන් මගින් රෙදි පිළි සඳහා වඩාත් විශ්මයජනක නිර්මාණ සිදු කළ හැකියි. මේ ශාඛ රාජධානිය අපගේ සොබාදහම් මව විසින් එකිනෙකට වෙනස් වූ වර්ණ රටාවන් නිර්මාණය සඳහා අප වෙත ත්‍යාගයක් ලෙස ලබා දුන් වටිනා වස්තුවක්.” හේලීස් ෆැබ්රික් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 231