නිෂ්පාදන සහ බැංකු අංශයේ වටිනාකම් යථාවත්වීම දර්ශක අගයන් ඉහළ දමයි

අද (මැයි 05) කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වූ ගනුදෙනු වඩාත් සාර්ථකව නිමාවට පත් වූ බව  කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ සහ බැංකු අංශයේ සමාගම් හි කොටස් වටිනාකම් පෙන්නුම් කළ යථාවත්වීම් ඒ සඳහා මූලිකවම දායක වී තිබේ.

එහිදී ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි විදෙස් ආයෝජන පිටතට ගලායෑම් පෙර දිනයට සාපේක්ෂව අඩු අගයක් ගැනීමත් දර්ශක අගයන් ඉහළ යෑමට හේතුවක් වී තිබේ. එසේම COVID-19 වසංගතය පාලනය සඳහා එන්නතේ බලාපොරොත්තුවද වෙළෙඳ පොල වෙත ධනාත්මක ලෙසින් බලපා ඇත.

මේ කරුණු සියල්ලමත් සමගින්ම දිනයේ අවසන් භාගයේදී කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ආයෝජක ආකර්ෂණය ඉහළ යාමක් පෙන්නුම් කළ බවද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,115.16ත් ඒකක 7,163.95ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,157.30ක් බවට පත්විය. එය ඊයේ (මැයි 04දා) දිනයට සාපේක්ෂව ඒකක 34.52 ක් එනම් 0.49%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු කළ සම්පත් බැංකු ගනුදෙනුව පිරිවැටුමෙන් 2.9%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 90ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 53ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+6.48), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.88), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.26), රෝයල් සෙරමික් ලංකා පීඑල්සී RCL (+2.76), හේලීස් පීඑල්සී HAYL (+1.87), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-8.23), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (-1.53), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.19), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.04), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-0.83) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,832.67ක අගයක් ගත් අතර, එය ඊයේ (04දා) ‍ට සාපේක්ෂව ඒකක 16.73 ක එනම් +0.59%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 890ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මැයි 04) වාර්තා කළ රුපියල් බිලියන 3.02ට සාපේක්ෂව 71% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.15ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.45%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 70.61ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 127.02ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 56.41කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 22.55ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 38.43 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 119.68ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 291ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 33% ක අගයක් ගෙන තිබේ. ආහාර, පාන වර්ග හා දුම්කොළ අංශ සහ බැංකු අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 210ක සහ රුපියල් මිලියන 126ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 200