වින්ඩ්ෆෝර්ස් මූලික මහජන කොටස් නිකුතුවට ඉල්ලුම්පත්‍ර හිමි වුණේ මෙහෙමලු

කොළඹ කොටස් හුවමාරුව තුළ පසුගිය මාර්තු 24 වැනිදා සිදු වුණු වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ලැබුණු ඉල්ලුම්පත්‍ර 1,654 බෙදී ගිය ආකාරය පිළිබඳව ඒ වෙත අනාවරණයක් සිදු කිරීමට එම සමාගම ඊයේ කටයුතු යොදා තිබේ.

එසේම එම ඉල්ලුම්පත්‍ර හරහා මිලදී ගත් කොටස් ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම් පිළිබඳවද මෙහිදී අනාවරණය කෙරී තිබේ.

සමාගම පවසන ආකාරයට මෙම නිකුතුවේදී වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගමේ කොටස් මිලියන 202ක් (202,615,341ක්) නිකුත් කෙරුණු අතර, කොටසක් රුපියල් 16 බැගින් වූ සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 3.24ක් විය.

ඒ අනුව, ඉන් ඉල්ලුම්පත්‍ර 1,536 ක් චෙක් සහ තත්‍යකාල දළ පියවීම් ක්‍රමවේදය (RTGS) යටතේ ඉදිරිපත්ව තිබේ. 2003 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් මෙය ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමවේදයකි. ඒ හරහා මිලදී ගෙන ඇති කොටස් ප්‍රමාණය 402,184,900 කි. එහි වටිනාකම රුපියල් 6,434,958,400කි.

එසේම බැංකු ඇපකර හරහා ඉදිරිපත්ව ඇති ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 118 කි. එහිදී මිලදී ගෙන ඇති කොටස් සංඛ්‍යාව 1,206,137,500ක් වන අතර එහි වටිනාකම රුපියල් 19,298,200,000කි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම නිකුතුවේදී එම ඉල්ලුම්පත්‍ර 1,654 කොටස් බිලියන 1.6 ක් (1,608,322,400ක්) සඳහා ඉදිරිපත්ව තිබේ. මෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 25.7 ක් (25,733,158,400.00ක්) බවද වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම අනාවරණය කරයි.

ඒ අනුව බලාපොරොත්තු වූ ඉල්ලුමට වඩා අට ගුණයක අධි ඉල්ලුමක් මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා හිමිව තිබේ. මෙය 2011 වසරින් පසුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වුණු විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙසද සැලකෙයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව සති තුනක කාලයක් තුළදී අනුමැතිය ලබා දුන් බවත්, එම සමාගමේ කොටස් ගනුදෙනු ආරම්භය අප්‍රේල් මාසය අවසානයේදී සිදු කෙරෙන බවත් කොළඹ කොටස් හුවාමාරුව වැඩිදුරටත් පවසා සිටියි.

Views: 483