සුදුසුකම්ලාභීන් 169ක් සමඟින් සොෆ්ට්ලොජික් ලයිෆ් MDRT හි හොඳම ජයග්‍රහණය වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය විකුණුම් කණ්ඩායමේ සාමාජිකයින් 169 දෙනෙකු, වෘත්තීයභාවය මෙන්ම ඵලදායීතාව අගයමින් ලෝකයේ රක්ෂණ උපදේශකයින් සඳහා ලබා ගත හැකි ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් වන MDRT (Million Dollar Round Table) සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබා ඇති බව නිවේදනය කරයි.

එක් වසරක් තුළ සමාගම විසින් බිහිකළ වැඩිම සුදුසුකම්ලාභීන් බවට පත්වූ මෙය සොෆ්ට්ලොජික් ලයිෆ්හි විශිෂ්ට විකුණුම් කණ්ඩායමට සුවිශේෂී වාර්තාවක්ද සනිටුහන් කරයි. තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් අද්විතීය ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීම සඳහා පුහුණු කිරීම සහ ඉහළ මට්ටමේ උපදේශකයන් බිහිකිරීම සඳහා වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි අප‍්‍රතිහත කැපවීම මේ තුළින් මනාව පිළිබිඹු වේ.

මෙම වසරේ සුදුසුකම් ලැබූ සාමාජිකයන් 169 දෙනා අතුරෙන් උපදේශකයන් 5 දෙනෙකුට එම ලැයිස්තුවේ ඉහළම (TOT – Top of Table) සාමාජිකයන් බවට පත්වීමේ MDRT හි වැඩිම ගෞරවය හිමි වූ අතර සොෆ්ට්ලොජික් ලයිෆ් උපදේශකයන් 06 දෙනකුට එම ලැයිස්තුවේ ගෞරවණීය (Court of Table) සාමාජිකත්වය හිමිවීම ද විශේෂත්වයකි.

2020 වසරේ සුදුසුකම් ලැබූවන්ට සුභාෂිංශන එක් කළ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘අපගේ MDRT ශක්තියෙහි සුවිසල් වර්ධනය සැබැවින්ම අපව දිරිමත් කරන්නක් වන අතර ඒ තුළින් පසුගිය වසර කිහිපය පුරා අප සිදු කළ කැපවීමෙහි සාර්ථකත්වය ද මනාව ප‍්‍රදර්ශනය වනවා. අප කීර්තිමත් MDRT සාමාජිකත්වය වෙනුවෙන් අපගේ විකුණුම් කණ්ඩායමේ සාමාජිකයන් හඳුනා ගනිමින් ඔවුන්ට ඉහළම අවස්ථාවන් උරුම කර දීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා.

විශේෂයෙන් වසංගතය හේතුවෙන් වඩාත් බලපෑමට ලක්වූ 2020 වසරේදී පවා අපගේ සමාගම ගුණාත්මකභාවයෙන් හා ඵලදායීතාවයෙන් යුතුව ඉදිරියට ගෙන යා හැකි MDRTහි වැඩි සුදුසුකම්ලාභීන් ප‍්‍රමාණයක් බිහිකිරීමට ලැබීම විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. මේ ආකාරයේ අසීරු කාලයන්හිදී පවා ලබා ගත් මෙම සුදුසුකම අපගේ ව්‍යාපාරය වඩාත් විශ්වසනීයව හා ගෞරවාන්විතව මෙහෙයවීමට අපගේ උපදේශකයන් හට ඉහළ පිළිගැනීමක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.’’යනුවෙන් පැවසීය.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා සහ
ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී ඉන්දු ආටිගල මහතා

2019 වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් තම රක්ෂණ උපදේශක කණ්ඩායම තව තවත් සවිබල ගැන්වීම සඳහා MDRT Aspirant’s Club දියත් කරන ලදී. වසර පුරාවටම නිරන්තරයෙන් අවශ්‍ය වැඩමුළු සහ වැඩසටහන් මාලාවන් පවත්වමින් සුදුසු හැකියාවන්ගෙන් යුත් MDRT ජයග‍්‍රාහකයින් බිහි කිරීම අරමුණු කරගනිමින් මූලික වශයෙන් මෙය පිහිටුවන ලදී.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී ඉන්දු ආටිගල මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘අපගේ විකුණුම් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව මෙන්ම ඉහළ දක්ෂතා දක්වන්නන් පිළිබඳවත් අප නිරන්තර අවධානය යොමු කරනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා ඔවුන්ගේ සංවර්ධනයට අනුබල දීම වෙනුවෙන් ආයෝජනය කිරීම මෙන්ම ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා අති නවීන මෙවලම් ලබා දීම කෙරෙහි අප විශ්වාසය තබා තිබෙනවා. මෙම ජයග‍්‍රහණය සොෆ්ට්ලොජික් ලයිෆ් හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර 2020 වැනි අභියෝගාත්මක වසරක් තුළ අපගේ විකුණුම් කණ්ඩායමේ කැපවීම, ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම වෘත්තීයභාවය මනාව ප‍්‍රදර්ශනය කරන බව සඳහන් කළ හැකියි.’’  යනුවෙනි.

Views: 27