සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමත් කොටස් අතුරු බෙදීමකට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පිඑල්සී (SUN.N) සමාගම කොටස් අතුරු බෙදීමක්  හරහා සිය නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව අනාවරණය කරයි.

පසුගිය පෙබරවාරි 03 වැනිදා පැවැත් වුණු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී  සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණයට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මෙහිදී දැන සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටසකට අලුතින් සාමාන්‍ය කොටස් 03ක් හිමි වන ලෙස 01:03 අනුපාතයෙන් මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය වන 149,554,103 ඉදිරියේදී කොටස් 448,662,309ක් දක්වා ඉහළ යන බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් මෙලෙස කොටස් අතුරු බෙදීමකින් කොටස් සංඛ්‍යාව ඉහළ ගියද එය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙත කිසිදු බලපෑමක් එල්ල නොකරන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි. එසේම දැනට නිකුත් කර ඇති සමාගමේ කොටස් අනුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බවත් පවසා සිටියි.

මෙහිදී ඉහත සඳහන් කළ කොටස් අතුරු බෙදීම ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ මහාසභා රැස්වීමකදී කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන් ගනුදෙනු දිනය වූ පසුගිය පෙබරවාරි 03 වැනිදා සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ එක් කොටසක වටිනාකම රුපියල් 93.10 ක් විය. එසේම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 13,923,486,989.30 කි. සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොළඹ කොටස් හුවමාරුවෙහි ආහාර පානවර්ග සහ දුම්කොළ අංශය යටතේ ලැයිස්තුගත කෙරී ඇත.

Views: 224