“21 වනදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම්” – ඇමති ප්‍රසන්න රණතුංග

ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන බවත් එම අමාත්‍යාංශය පවසයි.

මෙලෙස සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකා බලා බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළ බව එම අමාත්‍යාංශය පවසයි. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ කෙරුණු නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 1500කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ තිබේ. ඉන් මෙරටට ලැබුණු ආදායම රුපියල් මිලියන 420 කි. එම නියාමන වයාපෘතියේදී හඳුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද සංචාරක ඇමතිවරයා මෙහිදී කීවේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබේ. මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වේ. සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අඳාල සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබේ.

21 වනදායින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර මෙරටට පැමිණීමට ඉඩ ලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ්  ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණි.

මෙරටට පැමිණෙනු සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කෙරේ. එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාල හෝටල්වලම රැදී සිටිය යුතුය. දින 5-7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුනාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුවයි.

සංචාරකයන් පැමිණෙන හෝටල් වල කාර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේය.

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින් සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින බව පවසා ඇත.

ඒ අනුව ජාතික වගකීමක් ලෙස සලකා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහය වන්නැයි ඇමතිවරයා සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන ඉල්ලා තිබේ.

“රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් රට යථා තත්වයට පත් කිරීමේ වගකීම අපට තියෙනවා. රාජ්‍ය මාධ්‍ය වගේ පෞද්ගලික මාධ්‍ය වලටත් මෙහිදි විශාල කාර්යයභාරයක් පැවරෙනවා. ඒ නිසා මේ කටයුත්තේදි මාධ්‍යවල සහය අපට අවශ්‍යයි”   ඇමතිවරයා පවසා තිබේ.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රීත මාධ්‍ය ප්‍රධානීහු එක්ව තිබේ.

Views: 129