ජෝන් කීල්ස් සතු නේෂන්ස් ට්‍රස්ට් බැංකු කොටස් හිමිකම අඩු කිරීමට මහ බැංකුව කල් දෙයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඡන්ද හිමි කොටස් හිමිකාරීත්වය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කල් ලබා දීමක් සිදු කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව පසුගිය දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු ආවේක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද ලිපියකට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 29.52%ක් වන ඡන්ද හිමි කොස්ට හිමිකාරීත්වය 2021 දෙසැම්බර් 31 දක්වා පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම අවසරය ලබා දී තිබෙන බව එම ලිපියේ සඳහන් වන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා තිබේ.
එසේම 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට හෝ ඊට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රතිශතය 20%ක් දක්වා සහ 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට එය 15%ක් දක්වා අඩු කිරීමක් සිදු කළ යුතු බවත් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් මෙහිදී දැනුම් දී තිබේ.
අද වනවිට නිෂ්ඡන්ද කොටස්ද සමගින් ජෝන් කීල්ස් සමූහය සතුව ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් ප්‍රතිශතය 32.57% කි.
මෙලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය සතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඡන්ද හිමි කොටස් ප්‍රමාණය අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව 2017 වසරේ නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව 2020 දෙසැම්බර් 31 වැනිදා මෙම සමාගම් දෙකම පිළිවෙලින් සිය කොටස් හිමිකමේ ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කළ යුතුව තිබී ඇත. එසේම 2018 මාර්තු 31 වැනිදා වනවිට ජෝන් කීල්ස් සමූහය සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය සතු ඡන්ද හිමිකමද 10%ක් දක්වා අඩු කරන ලෙසද මහ බැංකු මුදල් මණ්ඩලය බැංකුව වෙත සඳහන් කර තිබූ බවත් පැවසෙයි.

Hits: 611