අනිලානා නිකුත් කළ හිමිකම් කොටස් සියල්ල සොමැප් ඉන්ටර්නැෂනල් මිලදී ගෙන
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම මගින් පසුගියදා සිදුකළ කළ රුපියල් මිලියන 183ක් වටිනා හිමිකම් කොටස් නිකුතුව සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට එම සමාගමේ ප්‍රධාන කොටස්හිමිකරුවෙකු වන සිංගප්පූරුවේ සොමැප් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.
පසුගිය දෙසැම්බර් 04 වැනිදා අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම නිකුත් කළ නිවේදනයකට අනුව මෙහිදී එක් කොටසක් රුපියල් දෙක බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 91,522,915ක් නිකුත් කළ බවත්, ඊට ලැබුණු සම්පූර්ණ ඉල්ලුමත් සමගින්ම සමාගම වෙත රුපියල් 183,045,830ක් හිමි වූ බවත් සඳහන් කර තිබේ.
දැනට කොටස් හිමිකරුවන් සතු සෑම කොටස් 13ක් සඳහාම අලුතින් එක් කොටසක් බැගින් මෙහිදී කොටස් හිමිකම් නිකුත්කර තිබුණි.
මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සිය සමූහයේ සමාගම්වල මෙහෙයුම් අවශ්‍යතාවන් වෙත යොදා ගන්නා බවද සමාගම සඳහන් කර තිබුණි. ඒ අනුව මෙම මුදලින් රුපියල් මිලියන 136ක් සමාගම ලබා ගෙන ඇති ණය මුදල් සඳහා ගෙවිය යුතු ප්‍රාග්ධනය සහ පොලී ගෙවීමටත්, තවත් මිලියන 42ක් වැටුප් ගෙවීමටත්, ඉතිරි රුපියල් මිලියන 5ක මුදල වැට් බදු ගෙවීමටත් යොදවා ගන්නා බව සඳහන් වෙයි
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමගින්ම සංචාරක කර්මාන්තය වෙත එල්ල වූ බලපෑම අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම වෙත දරුණු ලෙස බලපෑ අතර, ඒ යටතේ ක්‍රියාත්මක ඊස්ටර්න් ඩිවලොප්මන්ට් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සහ අනිලානා රිසෝට්ස් ලිමිටඩ් යන සමාගම් වෙත මෙහිදී හානි සිදුව තිබේ.
මේ අතර, මෙම කොටස් අත්පත් කරගැනීමටත් පෙර සිටම සොමැප් ඉන්ටර්නැෂනල් සමාගම සතුව අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ 70.4%ක කොටස් හිමිකාරීත්වයක් පැවතුණි. අද වනවිට අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සීහි සභාපතිවරයා වන්නේද සොමැප් ඉන්ටර්නැෂනල් සමාගමේ නිර්මාතෘවරයා වන දිනේෂ් පාන්ඩේ මහතාය.