HNB ප්‍රංශයේ PROPARCO වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60 අරමුදලක් ලබා ගනී

හැටන් නැෂනල් බැංකුව ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක අරමුදලක් ලබා ගත් බව නිවේදනය කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායකයන් සඳහා සහාය වීමට මෙම මුදල් ලබා ගත් බව බැංකුව පවසයි.

Proparco ආයතනය වසර 40ක් පුරාවට අප‍්‍රිකාව, ආසියාව, ලතින් ඇමරිකාව හා මැද පෙරදිග වැනි කලාපවල තිරසාර සංවර්ධනය උදෙසා සහයෝගය ලබා දෙමින් සිටී. 2019 දී එම කලාපවල යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිව්‍යාපාර, මූල්‍ය ආයතන, සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී ප‍්‍රධාන සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කර යුරෝ බිලියන 2.5ක මූල්‍ය ආයෝජනයක් Proparco ආයතනය විසින් සිදු කර ඇත.

එම ආයතනයේ මැදිහත්වීම් රැකියා අවස්ථා හා යහපත් ආදායම් මාර්ග නිර්මාණය කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම, දිළිඳුකම පිටුදැකීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම ආදිය සිදු කරමින් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා දායක වන පුද්ගලික අංශයේ ක‍්‍රියාකාරීන්ට සහාය වේ. 2019 දී යුරෝ මිලියන 388ක ප‍්‍රදානයක් සමඟින් Proparco සිය මැදිහත්වීම් සිදු කරන තුන්වන කලාපය ආසියාව වන අතර එය ඔවුන්ගේ කැපවීම්වලින් 15%ක නියෝජනය කිරීමකි.

HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා සහ මූල්‍ය ආයතන හා අන්තර්ගතයන් පිළිබඳ ප‍්‍රධානී, ගියොම් බාබරූස් මහතා

මෙම සහයෝගීතාවය එළැඹීම සම්බන්ධයෙන් අදහස් දක්වන HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා, ‘‘ගෝලීය ආර්ථික ඉතිහාසය තුළ මෙවැනි තීරණාත්මක කාලවකවානුවකදී PROPARCO සමඟ මෙම දිගු කාලීන ණය ගිවිසුමට එළැඹීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. 2015 සිට PROPARCO සමඟ HNB සහයෝගීතාවයකට එළැඹුන දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමක් පවතින මෙම අවිනිශ්චිත කාලවකවානුව තුළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් HNB කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මෙම ගිවිසුම මගින් පැහැදිලි සාක්ෂියක් සපයනවා. මෙම දිගු කාලීන අරමුදල තුළින් මෙරට බොහෝ සෙයින් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB හට හැකි වේවි,’’ යනුවෙන් පවසා සිටියි.

Hits: 251