නවලෝක රෝහල් සමූහයේ නවතම ඒකකය සිකුරාදා ඉදිකිරීම් අරඹයි

නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන නවලෝක මෙඩිකෙයා පෞද්ගලික සමාගම මගින් මීගමුව නවලෝක රෝහල ඉදිරිපිට පිහිටි භූමියක මහල් හයකින් යුත් නව රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකරන බව පවසයි.

අංක 200, කොළඹ පාර, මීගමුව යන ස්ථානයේ (වර්තමාන මීගමුව නවලෝක රෝහලට ඉදිරිපිට) පිහිටි ඉඩමක් වසර 30ක කල්බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන මෙම ඉදිකිරීම සිදු කරන බව නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගම පසුගියදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

ලබන ජූලි 10 වැනිදා මෙම  හයමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹීමට නියමිතව ඇති අතර එහි කටයුතු ලබන වසරේ ජූනි මාසයේදී අවසන් කිරීම සැලසුම වී තිබේ. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 350ක් ලෙස ගණන් බලා තිබේ.

මෙම පරිශ්‍රය තුළින් බාහිර රෝගී සේවා, හදිසි ප්‍රතිකාර සේවා, ඖෂධ ශාලා, විශේෂඥ වෛද්‍ය සේවා මෙන්ම අභ්‍යන්තර රෝගී කාමර යනාදී පහසුකම් සැලසෙන බව නවලෝක මෙඩිකෙයා පෞද්ගලික සමාගම සඳහන් කරයි.

නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගම මගින් 2014 වසරේදී මීගමුව නවලෝක රෝහල ආරම්භ කර තිබේ. එහෙත් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ පිහිටි මෙම රෝහලට මෑතක් වන තුරුම රථ ගාලක් නොතිබීම හේතුවෙන් පැමිණෙන පිරිස් සිය මෝටර් රථ මාර්ගය ඉදිරිපස නැවැත්වීම නිසා අර්බුධ රැසක්ම ඇති වූ බවත් මාධ්‍ය වාර්තා පවසයි.

Visits: 213