නව ගුවන් කෞතුකාගාරයක් ඉදි කිරීමේ සැලසුමක්

මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමාන විදහා දැක්වෙන පරිදි නව ගුවන් කෞතුකාගාරයක් කඩිනමින් ඉදිකිරීමට අපේක්ෂා කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ගුවන් තොටුපොළ හා ගුවන් සමාගම සතු අක්කර 80 ඉඩමක්ද ඒ සඳහා දැනටමත් යෝජනා වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. එහිදී කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ තොරතුරුද ඊට ඇතුළත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් දැනටමත් රත්මලාන ගුවන් තොටුපොළ තුළ ගුවන් හමුදාව මගින් ඉතාමත් සාර්ථක ලෙස ගුවන්  කෞතුකාගාරයක් පවත්වාගෙන යයි. එහිදී ලංකාවේ ගුවන් හමුදාව සතුව තිබූ ඉපැරණි ගුවන් යානා ඇතුළුව ප්‍රහාරක ජෙට් යානා මෙන්ම හෙලිකොප්ටර් යානා අනුරූද සහිතව සවිස්තරාත්මක සඳහන් කිරීමක් දක්නට ලැබෙයි. එසේම කොග්ගල ගුවන් හමුදා කඳවුරේද එවැනි කෞතුකාගාරයක් පවතී.

එහෙත් සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ සිදුවූ විකාශනය පිළිබිඹු කිරීම සඳහා වන කෞතුකාගාරයක අඩු මේ දක්වා රට තුළ පැවතුණු බව ඒ පිළිබඳ උනන්දුව දක්වන බොහෝ පිරිසගේ අදහස වී තිබේ. විශේෂයෙන්ම මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය සඳහා එවැනි කෞතුකාගාරයක අවශ්‍යතාව වඩා වැදගත් බවද ඔවුන් පෙන්වා දෙයි. එහෙත් එවැනි කෞතුකාගාරයක් සඳහා ප්‍රමාණවත් සම්පත් මෙරට පවතීද යන්නද ගැටලුවකි.

මේ අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සදහා නව සේවකයන් බදවා ගැනීමේ දී පණවා ඇති නීති සීමා වහා ඉවත් කරන ලෙසද ඇමතිවරයා මෙහි දී උපදෙස් ලබා දී තිබේ. ඔහු අවධාරණය කළේ මෙම අධිකාරිය තුළ ඇතැම් තනතුරු සදහා බදවා ගැනීම්වලදී එම ක්ෂේත්‍රයේ වසර 20 ක පළපුරුද්ද ඉල්ලා සිටින බවයි.

අධිකාරියේ ප්‍රධාන නිළධාරියෙකු වසර ගණනාවක් තිස්සේ සේවය දීර්ඝ කරමින් සිටි බව පැවසු ඇමතිවරයා මේ තත්ත්වය වෙනස් කළයුතු බව පෙන්වා දී ඇත. ඒ නිසා මෙම ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ට ද පිවිසීමට හැකි පරිදි බදවා ගැනීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Visits: 39