අද දිනට යෙදී තිබුණු Luminex මහජන කොටස් නිකුතුව 19ට කල් යයි

කොළඹ කොටස් හුවමාරුව තුළ අද දිනයේදී විවෘත කිරිමට නියමිතව තිබුණු Luminex Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) ලබන 19 වැනිදා දක්වා කල් දමා ඇතැයි එම සමාගම පවසයි.

වර්තමානයේදී රට තුළ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම සමාගම සඳහන් කරයි. මෙරට තුළ දුරකතන සන්නිවේදන, විදුලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ ජල සහ අපජල ප්‍රවාහන පද්ධති ඉදිකිරීම යන අංශයන්හි සේවා සම්පාදකයෙකු ලෙස  Luminex Limited හඳුනාගෙන තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී Luminex Limited සමාගම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 31.2ක් (31,250,000ක්) නිකුත් කිරිමට සැලසුම් කර ඇත. එය සමාගමේ කොටස් අතරින් 11.52%ක ප්‍රතිශතයකි.

මෙහිදී කොටසක වටිනාකම රුපියල් 8ක් ලෙස සඳහන් කර ඇති අතර, මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල්මිලියන 250ක් (250,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් මගින් සිය දේශීය මෙහෙයුම් තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම අරමුණ බව සමාගම පවසයි.

මෙම මූලික කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස නවරා කැපිටල් ලිමිටඩ් සමාගම ක්‍රියා කරයි.

මෙම Luminex Limited මූලික මහජන කොටස් නිකුතුව පළමුවරට විවෘත කිරීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් 26 වැනිදාය. එහෙත් රට තුළ මතුවූ තත්ත්වයත් සමගින්ම පසුව එය මැයි 12 වැනිදා දක්වා කල් දැමුණි. ඒ අනුව මේ වනවිට එම මූලික මහජන කොටස් නිකුතුව අවස්ථා දෙකකදී කල් දමා තිබේ.

Luminex Limited සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය පසුගිය අප්‍රේල් 07 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, මේ වනවිට එය සමාගමේ නිල වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගත හැකිය.

සමාගම පවසන ආකාරයට 2020/21 මූල්‍යවර්ෂයේදී එම සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 2.55ක් ලෙස සටහන්ව ඇත. එසේම බදු පසු ලාභය රුපියල් මිලියන 295කි. එසේම 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය තුළදී සමාගම රුපියල් බිලියන 2.48ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, බදු පසු ලාභය රුපියල් මිලියන 453කි. ඒ අනුව මෙය සමාගමේ ශක්තිමත් වර්ධනය පෙන්නුම් කරන අවස්ථාවක් බවද Luminex සමාගම සඳහන් කරයි.

Visits: 103