ඉන්දීය ණය පහසුකම යටතේ ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන 4ක් LIOC වෙත

ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙහි සහාය මත ලැබී ඇති තවත් අමතර එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක කෙටි කාලීන ණය පහසුකම් යටතේ ඩීසල් සහ පෙට්‍රල් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව මේ සඳහා වන ප්‍රසම්පාදනයන් 04 ක් සඳහා මිල ගණන් කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම ප්‍රසම්පාදන සිමාසහිත ඉන්දියානු තෙල් සංස්ථාව (LIOC) වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

බලශක්ති සහ ඉන්ධන අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඊයේ සවස පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අනුමැතිය හිමිව තිබේ.

මීට පෙරද ඉන්දියානු කෙටි කාලීන ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 500ක පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ආනයනය කිරිම සිදු විය.

Views: 97