මුදල් ඇමති බැසිල්ගෙන් ජනතාවට සහන

ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

අද සන්ධ්‍යාවේදී මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව දැනුම් දී සිටියේය. විශේෂයෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය අවස්ථාවේදී රජයේ සේවකයන් හට සහනයක් දීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ට අමතර මුදල් ලබාදීම සම්බන්ධයෙන් හාම්පුතුන් සමග සාකච්ඡා කරන්නැයි කම්කරු අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලූ බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

එසේම විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමටද කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කර තිබේ.

මීට අමතරව සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ගොවීන්ගේ වී කිලෝවක් සඳහා රුපියල් 75ක් ලබාදීමටද රජය මෙහිදී තීරණය කර තිබේ.

මේ අතර පර්චර්ස් 20ට ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇති බවත්, අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. එසේම මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

මීට අමතරව වතු කම්කරු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ.

සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය.

මේ අතර ආබාධිත සෙබළුන් සඳහා ද රුපියල් 5000ක විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 163