ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මාස නවයක ධුර කාලයකින් පසු ඉවත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා එම ධුරයට සමු දී ඇතැයි වාර්තා වෙයි. ඒ මහතා සිය විදේශ සේවා රාජකාරින්වලින් විශ්‍රාම යාම ඊට හේතුව වී තිබේ. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 07 වැනිදා සිය සමුගැනීමේ ඇමතුමද සිදු කරමින් ඒ මහතා සිය ධුරයට සමු දීම ප්‍රකාශ කර ඇත.

මෙරට විදේශ සේවයේ ජ්‍යෙෂ්ටතම නිලධාරියෙකු වන ඒ මහතා 2020 වසරේ දෙසැම්බර් 04 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් විය. හිටපු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම පත් කිරීම සිදු කෙරිණි. ඒ අනුව ඒ මහතා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස මාස නවයක පමණ සේවා කාලයකින් පසුව මෙලෙස සේවයෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇත.

මෙහිදී ඒ මහතාගේ විශ්‍රාම යාමට හේතුව වයස අවුරුදු 60 සම්පූර්ණ වීම බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් එම වයස් සීමාවද ඉක්මවූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බොහෝ රටවල රාජකාරියේ නිරතව සිටින බව පෙන්වා දෙන ඇතැම් පිරිස් මෙය රජයේ තීරණයකට අනුව ගනු ලැබූ විශ්‍රාම යෑමක් බව සඳහන් කර සිටියි.

රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට පෙරාතුව එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ට නිලධාරින් අමතා කොවිඩ් 19 අර්බුදය අවස්ථාවේදී විශේෂයෙන්ම එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව එක්සත් ජනපද රජයට ස්තූතිය පුද කර තිබේ.

විශ්‍රාම යෑම ප්‍රකාශ කළ රවිනාථ මහතා මේ වනවිට ශ්‍රී ලංකාව බලා ආපසු ඒමට පියවර ගෙන ඇතැයිද සඳහන් වෙයි.

‍මෙම තීරණයෙන් පසුව හිස්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ධුරය සඳහා රජයට සමීප ප්‍රභලයෙකු පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා සඳහන් කරයි.

Visits: 99