රුපියල් බිලියනයක ආයෝජනයකින් බොගවන්තලාව තේ සමාගම ඖෂධීය ශාක සහ කුළුබඩු බෝග වගාවකට පිවිසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බොගවන්තලාව තේ සමාගම (බොගවන්තලාව ටී එස්ටේට් පීඑල්සී) කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රදේශය තුළ දැවැන්ත කාබනික කුළුබඩු බෝග සහ ඖෂධීය ශාක වගා කලාපයක් පිහිටුවා ඇතැයි පවසයි.

පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණු එම සමාගමෙහි 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ මේ පිළිබඳ කරුණු අනාවරණය කෙරී ඇත.

ඒ අනුව රුපියල් බිලියන 1ක ආයෝජනයක් යටතේ මෙම කුළුබඩු බෝග සහ ඖෂධීය ශාක වගාව ආරම්භ කර තිබෙන බව එම සමාගම සඳහන් කර තිබේ.

එසේම මෙය ලොව පළමු දේශගුණික ධනාත්මක, කාබනික සහ අනෙකුත් ඉහළම තිරසාරත්ව සහතිකකරණයට ලක්වූ කුළු බඩු බෝග සහ ඖෂධීය ශාක වගා ව්‍යාපෘතියක් බව සමාගම පවසයි.

අපනයන පාදක කරගත් ව්‍යාපෘතියක් වන මේ හරහා නිපදවන ශ්‍රී ලාංකික ඖෂධීය ශාක සහ කුළු බඩු භෝග නිෂ්පාදන ඉදිරියේදී විවිධ කෝණවලින් අගය එකතු කළ නිෂ්පාදන ලෙස ඉදිරිපත් කරන බවත් බොගවන්තලාව ටී එස්ටේට් පීඑල්සී සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම රජය විසින් ගෙන ඇති පාම් වගාවන් තහනම් කිරීමේ තීරණයත් සමගින්ම සිය වතු යාය මගින් සිදු කරන ලද මහා පරිමාණ පාම් ගස් වගා ව්‍යාපෘතියේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් අවසන් අවබෝධයක් පිළිබඳව පවතින ගැටලුවත් සමගින්ම සමාගම සිය නිෂ්පාදන විවිධාංගීකරණය යටතේ මෙලෙස ඖෂධීය ශාක සහ කුළුබඩු බෝග වගාවක් වෙත යොමු වූ බවද සමාගම පවසයි.

මේ අතර රජය විසින් තහනම් කර ඇති පොහොර සහ කෘෂිරසායනික ආනයන තහනම නිසා ඇති විය හැකි ඍණාත්මක බලපෑම පිළිබඳ ප්‍රතිඵල ඉදිරියේදී සමාගම වෙත අවබෝධ කරගත හැකි වෙනු ඇති බවත්, බොගවන්තලාව ටී එස්ටේට් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 223