96 ක්‍රිකට් ලෝක ශූරයෝ ඉන්දියානු ආයෝජකයෙකු හා එක්ව මහල් නිවාස ව්‍යාපෘතියක් අරඹති
1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු එක්ව “96 Legends” නමින් මහල්නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
පැලවත්ත ඩෙනිසිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි භූමියක ඉදි කෙරෙන මහල් 42කින් යුත් මෙම මහල් නිවාස සංකීර්ණය සතු සමස්ත නිවාස සංඛ්‍යාව 240 කි. මෙම සෑම මහලක්ම ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම්වලින් නම් කරන බවත් සඳහන් වෙයි.
ඉන්දියානු සමාගමක් හා ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සැලසුමයි. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට RPP Infra Projects (Lanka) Ltd නම් සමාගමක් මෙම ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කර තිබේ. එහි මව්සමාගම වන RPP Infra Projects සමාගම ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා තිබේ.
ඒ අනුව ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ, රවීන්ද්‍ර පුෂ්පකුමාර යන ක්‍රීඩකයන්ගේ හවුල්කාරීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම නායක අර්ජුන රණතුංග මහතාගේ අතින් සිදුවී තිබේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අර්ජුන රණතුංග මහතා, “1996 වසරේදී එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනෙකුට ඉඩම් ලබාදීමක් සිදුකළා. ඒ අතරින් ඇතැම් ඉඩම් පර්චස් 10ක පමණ විශාලත්වයක් ගත්තා. මේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් වසර 30කට පමණ පසුව, අපිට දැන් මේ ඉඩම්වල මහල් 42ක මහල්නිවාස සංකීර්ණයක් ඉදිකරන්න ඉන්දියානු ආයෝජකයෙකු ඉදිරිපත්ව සිටිනවා. ක්‍රීඩකයන් 12 දෙනෙකු සමගින් එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනවා. “ යනුවෙන් පවසා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ සෑම ක්‍රීඩකයෙකු වෙතම එහි ඉදි කෙරෙන කාමර හතරකින් යුත් සුඛෝපභෝගී නිවාසයක් හිමි වන අතර, එයද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට හේතුවක් වනු ඇතැයිද ආයෝජක සමාගම විශ්වාසය පළ කරයි. වසර හතරක් තුළදී මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සැලසුමයි.
මීට පෙර 2017 වසරේදී මෙම භූමිය යොදා ගනිමින් 96 Legends Square නමින් ඩොලර් මිලියන 150ක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට යෝජනා කෙරී තිබුණි. එහිදී ඉන්දියාවේ Wills Realtors Pvt Ltd නම් සමාගමක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමගින් එක්ව ඊට මුදල් ආයෝජනය කිරීමට සූදානම් විය. එම අවස්ථාවේදී ඉදි කිරීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය මහල් 69 කින් සමන්විත විය.
RPP Infra Projects සමාගම මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට Wills Realtors Pvt Ltd සමාගම හා හවුල්කාරීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එම සමාගම කටයුතු යොදා තිබේ.