පුවත්

අදානි සමූහය කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට ඇමෙරිකානු මුදල් එපා කියයි

ඉන්දියාවේ අදානි සමූහය මගින් ක්‍රියාත්මක කරන කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් අනුමත කර ඇති ඩොලර් මිලියන 553ක මුදල අනවශ්‍ය බවට එම සමූහය පවසා ඇතැයි වාර්තා වෙයි.

අදානි සමූහයේ 51%ක කොටස් හිමිකාරීත්වයක් මෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ 34%ක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 15% කොටස් හිමිකාරිත්වයක් යටතේ මෙම බටහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනයට ඉදිරිපත් වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඊට එක්සත් ජනපද ඩොලර් මිලියන 553ක මුදලක් ලබා දීමට එකඟතාවට පිවිසුණි. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීමද මෙරටදී සිදුවිය.

කෙසේ වෙතත් එම මුදල් නොමැතිව අදානි සමූහයේ අභ්‍යන්තර මුදල් සහ ප්‍රාග්ධන කළමනාකරණ සැලසුම් හරහා පවත්වාගෙන යාමට හැකියාව පවතින බව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම පවසයි.

ඒ අනුව කොළඹ බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ඉතාමත් හොඳින් සිදු කෙරෙමින් පවතින බවත්, එහි මෙහෙයුම් කටයුතු 2025 වසර ආරම්භයේදී පමණ ආරම්භ කළ හැකි බවත් සමාගම සඳහන් කර ඇත.

පසුගිය මාසයේදී එක්සත් ජනපද අධිකරණයක් මගින් අදානි සමාගම ඩොලර් මිලියන 265ක අල්ලස් ලබාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනාවලින් අනතුරුව අදානි මෙම තීරණය ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම අල්ලස් ලබාදීම හරහා අදානි සමූහය ඩොලර් බිලියන 2කට අධික අයුතු ලාභයක් ලබා ඇතැයිද එම චෝදනාවන්හි සඳහන් විය.

එසේම අදානි සමූහය සිය සමාගම්හි කොටස් වටිනාකම් ව්‍යාජ ලෙස ඉහළ නංවමින් ඇමෙරිකානු ආයෝජකයන් නොමඟ යවා ඇතැයිද එක්සත් ජනපද මූල්‍ය සමීක්ෂණ ආයතනයක් හරහා ඊට පෙර චෝදනාවක් එල්ල විය.

කෙසේ වෙතත් මෙම චෝදනා පදනම් විරහිත බවට අදානි සමූහය පවසයි. එසේම එම චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් සඳහන් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මේ පිළිබඳව මෙතෙක් අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *