පුවත්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය මාර්තු 31 දක්වා දීර්ඝ කෙරේ

තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කරන බව රජය පවසයි.

ඊයේ දිනයේදී පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී මේ සඳහා අනුමැතිය හිමිව තිබෙන බව අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම දීමේදී අනාවරණය කෙරිණි.

පැවැති රජය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ක්‍රියාත්මක කර තිබූ මෙම පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ තාවකාලික අත්හිටුවීම 2024 දෙසැමබර් 15 වැනිදා කල් පිරීමට නියමිතව තිබුණි.

විශෙෂයෙන්ම පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් රජය මෙම තීරණය ගෙන ඇතැයි පවසයි.

මෙහිදී දේපළ වෙන්දේසි කිරීමට ඉඩ දීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බව රජය විසින් නිරීක්ෂණය කර ඇතැයිද පවසයි.

ඒ අනුව, 2025‑03‑31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මෙහිදී යෝජනා කෙරී ඇත.

1990 අංක 4 දරන බැංකු මඟින් ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධනයක් ගෙන ඒම මඟින් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම 2024‑12‑15 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *