පුවත්

2025දී විවෘත කිරීමට යන ශ්‍රී ලංකාවේ පළමු තරු හත හෝටලය Aviyana Private Chalets

මහනුවර ඉදිවන ශ්‍රී ලංකාවේ පළමු තරු හත පන්තියේ හෝටලය වන Aviyana Private Chalets ව්‍යාපෘතියේ පළමු අදියර ලබන වසරේ මැයි මාසයේදී පමණ විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි එහි නිර්මාතෘවරයා මෙන්ම Aviyana Private Limited හි සභාපතිවරයාද වන ආචාර්ය තිසර හේවාවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් නොපැවති ආකාරයේ අලුත්ම සංකල්පයක් යටතේ ඉදි කෙරෙන මෙම Aviyana Private Chalets ව්‍යාපෘතිය මහනුවර, උඩිස්පත්තුව ප්‍රදේශයේ අක්කර 24ක භූමියක් පුරා ව්‍යාප්තව පවතී. මේ වෙත පැමිණෙන සංචාරකයන් වෙත තරු හතේ සුඛෝපභෝගී අත්දැකීමක් ලබාදීම අරමුණයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සතුව කඳු මත පිහිටවුණු කුඩා ප්‍රමාණයේ නිවාස (chalets) 60ක්, ස්වාභාවික පිහිනුම්ත ටාකයක්, ගුවන් ක්‍රීඩා පරිශ්‍රයක්, කෘත්‍රිම වැවක්, කාබනික ගොවිපොළක් සහ කුළුබඩු උද්‍යානයක්, කායවර්ධන සහ සුවතා මධ්‍යස්ථානයක්, හෙලිකොප්ටර් නැවතුම් පොළක්, ලෝක මට්ටමේ ආපනශාලාවක් සහ මත්පැන් ශාලාවක්, සම්මන්ත්‍රණශාලාවක් සහ සිනමා ශාලාවක් මෙන්ම අක්කර හතරක් පුරා විහිදුනු ස්වභාව රක්ෂිත වනාන්තරයක්ද ඇතුළත්ව ඇතැයි සඳහන් වෙයි.

සභාපතිවරයා පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත වියදම රුපියල් බිලියන 9කට ආසන්න වෙයි. ඒ අතරින් රුපියල් බිලියන 7කට ආසන්න ආයෝජනයක් මේ දක්වා එම ව්‍යාපෘතිය වෙත සිදු කර ඇති අතර, ව්‍යාපෘතියේ 70%ක පමණ ඉදිකිරීම් මේ වනවිට සම්පූර්ණ කෙරී තිබේ.

මෙහිදී මෙම Aviyana Private Chalets ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කුඩා chalets 12ක කටයුතු නිමා කිරීම සැලසුම වී ඇත. මෙම එක් කුඩා නිවාසයක් රුපියල් මිලියන 10කට මිල කිරීමට Aviyana Private Limited සමාගම පියවර ගෙන ඇත. එම නිවාසය සංචාරකයන් වෙත කුලියට ලබාදීම හරහා මාසයකට රුපියල් 166,666ක ආදායමක්ල බා ගත හැකි බව සමාගම පවසයි. මේ සඳහා ගැළපෙන ආකාරයේ ක්‍රමවේද රැසක්ම සමාගම මගින් හඳුන්වාදී ඇතැයිද සඳහන් වෙයි.

“Aviyana ව්‍යාපෘතිය හරහා අසමසම සුඛෝපභෝගී, නවීනතම ආරක්ෂාව සහිත, ලෝක මට්ටමේ සංචාරක අත්දැකීමක් ලබාදෙමින් පරිසරය සමගින් ඉතාමත් හොඳ බැඳීමක් ඇති කර ගැනීමේ අවස්ථාවක් ලබා දෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක කර්මාන්තය සඳහා වැදගත් ව්‍යාපෘතියක්“ යනුවෙන්ද ආචාර්ය හේවාවසම් මහතා සඳහන් කර සිටියි.

Aviyana Private Chalets ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වන Aviyana Private Limited හි ප්‍රධාන විධායක නිලධාරී කාවින්ද අබේරත්න මහතා, මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් සොයා ගැනීමේදී ශ්‍රී ලාංකිකයන් වෙත අවස්ථාව ලබා දීම සභාපතිවරයා ප්‍රමුඛ සිය කණ්ඩායමේ තීරණය බව ප්‍රකාශ කළේය. එහිදී එක්සත් අරාබි එමීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනටමත් මෙම ව්‍යාපෘතිය වෙත ආකර්ෂණය කරගැනීමේ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත මෙම ආයෝජන සැලසුම් රැගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

“අපි දන්නා විදියට Aviyana Private Chalets තමයි ලෝකයේ අටවැනියට ඉදි කෙරෙන තරු හත හෝටල් ව්‍යාපෘතිය. දැනටමත් ලෝකයේ ස්ථාන හතක මෙවැනි ආකාරයේ තරු හත පන්තියේ හෝටල් ඉදිකර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන සුඛෝපභෝගී සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන අවස්ථාවක් වේවි. ඒ වගේම ආයෝජකයන්ට හොඳ ආයෝජන අවස්ථාවක් වේවි.“ යනුවෙන්ද ඒ මහතා පැවසීය.

යුනෙස්කෝ ලෝක උරුම පරිශ්‍රයක්ද වන නකල්ස් කඳුවැටිය ආසන්නයේ පිහිටි කඳුවැටියක ඉදි කෙරෙන මෙම Aviyana Private Chalets ව්‍යාපෘතිය මේ දක්වා ලබා ගත යුතු සියලුම ආකාරයේ පරිසර වාර්තාවන් ඇතුළු සහතික ලබා ගෙන ඇතැයිද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *