පුවත්

ජපානයේ Onomichi කලම්බු ඩොක්යාර්ඩ් කළමනාකාරීත්වයෙන් ඉවත් වෙයි – නව ආයෝජකයෙකුට අවස්ථාව

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි ප්‍රධාන කොටස්හිමිකරුවා වන ජපානයේ Onomichi Dockyard Company Limited (Onomichi) සමාගම එම සමාගමෙහි කළමනාකාරීත්වයෙන් සහ කළමනාකාරීත්ව එකඟතාවයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම වෙත නව උපායමාර්ගික ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් Onomichi සමාගම මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව Onomichiසමාගම නියෝජනය කරමින් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කර සිටි ටී.නකාබේ, කේ.කොබටාකේ සහ ජේ.ෆුරුකාවා යන සාමාජිකයන් පසුගිය දෙසැම්බර් 06 වැනිදා සිට එම ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි සමාගම පවසයි.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වන විට ඉහත සඳහන් කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සතුව කලම්බු ඩොක්යාර්ඩ පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයක් නොතිබූ බවත් සඳහන් වෙයි.

ඒ අනුව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි නව විධායක නොවන සභාපතිවරයා වරයා ලෙස ලලිත් ගන්ලත් මහතා පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තීරණය කර තිබේ. ඒ මහතා 1993 වසරේ සිට සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඒ මහතා සතුව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි කොටස් 578ක හිමිකාරීත්වයක් පවතින බවත් සඳහන් වෙයි.

විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී ඇති වූ බාහිර සහ අභ්‍යන්තර කාරණ හේතුවෙන් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම යම් මූල්‍යමය අර්බුද රැසකටම මුහුණ දී ඇතැයිද සමාගම පවසයි.

කෙසේ වෙතත් සමාගම පිහිටා ඇති ස්ථානය සහ සමාගම මගින් සිදු කරන නෞකා නිෂ්පාදනය සහ අලුත්වැඩියාව යන ව්‍යාපාරික මෙහෙයුම් සතුව ඇති දිගුකාලීන අවස්ථාවන් පවතින බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර කලම්බු ඩොකයාර්ඩ් සමාගමෙහි ප්‍රධාන කොටස් හිමිකරුවා වන Onomichi සමාගම වෙනුවට නව උපායමාර්ගික ආයෝජකයෙකු සොයා ගැනීම මේ අවසථාවේදී මූලික අවශ්‍යතාවක් ලෙස පෙන්වා දෙන සමාගම, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශ්ව කිහිපයකින්ම මූලික සාකච්ඡා පවත්වා ඇතැයිද සඳහන් කරයි.

අද වනවිට කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 36,648,051ක් එනම් 51%ක ප්‍රතිශතයක් Onomichi Dockyard Company Limited සමාගමට අයත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *