Uber ඉන්දියාවේ කාශ්මීරය තුළ කුලී බෝට්ටු සේවාවක් අරඹයි
ලොව ජනප්‍රිය ජංගම දුරකතන ඇප් පාදක කුලී රථ සැපයීමේ සේවාවක් වන Uber ඉන්දියාව තුළ පළමුවරට කුලී බෝට්ටු සේවාවක් (Uber Boat) ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
එ අනුව ඉන්දියාවට අයත් කාෂ්මීර පළාතේ පිහිටි සුප්‍රසිද්ධ ඩාල් වැව ආශ්‍රිතව මෙම Uber බෝට්ටු සේවාව ක්‍රියාත්මක වෙයි.
මෙම වැව ආශ්‍රිතව පවත්වාගෙන ගිය ලීයෙන් සෑදූ සාම්ප්‍රදායික ෂිකාරා බෝට්ටු මෙම සේවාව සඳහා යොදා ගෙන තිබේ. ඉතාමත් අලංකාර ලෙස සැරසූ මෙම බෝට්ටු කාෂ්මීරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියය.
Uber සමාගමට අනුව මෙම ඩාල වැව මතින් ෂිකාරා බෝට්ටු සවාරියක් යෑමට ආසා කරන සංචාරකයන්ට දින 15ක සිට පැය 12කට පෙරාතුව සිය ඇප් වැඩසටහන හරහා බෝට්ටුවක් වෙන් කරවා ගැනීමේ අවසථාව හිමි වෙයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට අද වනවිට මෙම ඩාල් වැව ආශ්‍රිතව මෙවැනි බෝට්ටු 4000ක් පමණ ක්‍රියාත්මක වෙයි.
මෙහිදී ඇප් වැඩසටහන හරහා සිදුකරන වෙන්කරගැනීම්වලදී කිසිදු මුදලක් Uber සමාගමට නොලැබීමත්, මුදල් සියල්ලම එම බෝට්ටු මෙහෙයවන්නන් වෙත හිමිවීමත් මෙහි ඇති විශේෂත්වය බව Uber සමාගම සඳහන් කරයි.
කෙසේ වෙතත් Uber සමාගම මෙම ෂිකාරා බෝට්ටු සේවාව වෙත ඇතුළුවීම සම්බන්ධයෙන් එම මෙහෙයුම්කරුවන් විවිධ අදහස් පළ කරයි. ඉන් පිරිසක් මෙම ක්‍රමය මගින් කේවල් කිරීම සහ වංචා කිරීම වළක්වා ගත හැකි බව පවසයි. එසේම පිරිසක් මෙම ක්‍රමය මගින් කිසිදු වෙනසක් සිදුව නොමැතිබවත් පවසයි.
Uber මීට පෙරත් මෙවැනි ආකාරයට කුලී බෝට්ටු සේවාවන් සඳහා සිය දායකත්වය ලබාදී තිබේ. 2019 වසරේදී දියත් කෙරුණු Uber Boat සේවාව අද වනවිට ලන්ඩන් නුවර තේම්ස් නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.