පුවත්

නයින්වෙල්ස් රෝහලේ NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියේ වාර්තාව තබයි

නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී  කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉහළම ඉන්ධන අලෙවිය සහ මුළු දිවයිනේම දෙවැනි ඉහළතම ඉන්ධන අලෙවිය වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි. 

ආරම්භ කර වසරක් ඇතුළත NW Logistics සමාගම ක්ෂේත්‍රයේ කැපීපෙනෙමින් දිනකට ඉන්ධන ලීටර් 25,000 ක අලෙවි වාර්තාවක් තැබීමට සමත්විය. මෙම ඉන්ධන පිරවුම්හල සිය සුවිශේෂී සේවාවන් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය නිසාවෙන් ආයතනික ගනුදෙනුකරුවන් 50කට වඩා වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන ඇති අතර, එය විශ්වසනීය ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහි කීර්තිය අවධාරණය කරයි.

මෙහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ දක්ෂ සහ කැපවීමෙන් යුත් කාන්තාවන් කණ්ඩායමක් වීම මෙම ජයග්‍රහණයේ තවත් සුවිශේෂී අවස්ථාවකි. ඒ අනුව මෙමඟින් කාන්තාවන්  සවිබල ගැන්වීමේ සහ කාන්තාවන් සහභාගී කරවා ගැනීමේ වැදගත්කම මනාව පිළිබිඹු කරන බවත් ඔවුන් සඳහන් කරයි.

NW Logistics සමාගමෙහි මෙහෙයුම් ප්‍රධානී ඉෂාර බණ්ඩාර මහතා සිය අදහස් දක්වමින්, “කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් මෙම කණ්ඩායම ඉහළ විකුණුම් පරාසයක් අත්කරගෙන ඇති අතරම වඩාත් මිත්‍රශීලි සහ උද්යෝගීමත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළ අතර “පාරිභෝගිකයන්ට සේවා සැපයීම කෙරෙහි ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ පාරිභෝගිකයන් වෙත යොමු කරන අවධානය මේ සඳහා තීරණාත්මක ලෙස බලපා තිබෙනවා” යනුවෙන් ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Lanka IOC සමාගමට, NW Logistics හි කැපී පෙනෙන කාර්ය සාධනය අවධාරණය වී ඇති අතර කොළඹ සහ ඉන් ඔබ්බට ඉන්ධන අලෙවිය සිදු කිරීමට සමාගම සතු හැකියාව හඳුනාගෙන ඇත. එම නිසාවෙන් මෙම හවුල්කාරිත්වය තුළින් තිරසාරභාවය, සවිබල ගැන්වීම සහ උසස් තත්වයේ සේවාවක් සැපයීමේ පොදු අරමුණ විදහා දැක්වෙයි.

Ninewells රෝහලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, NW Logistics සමාගම ක්ෂේත්‍රයේ දියුණුව සහ නවෝත්පාදනයන් සඳහා කැප වී සිටියි. තවදුරටත් තම අදහස් දක්වමින් ඉෂාර බණ්ඩාර මහතා “සමාගම් සමඟ ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි අපහසුතාවයකින් තොරව ඉන්ධන සේවාවක් ලබා දෙමින් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප සැදී පැහැදී සිටිනවා. සෑම විටකදීම පහසුව සහ විශ්වසනීයත්වය සහතික කරමින් බාධාවකින් තොරව ඉන්ධන කළමනාකරණ විසඳුම් සමඟින් අපගේ ආයතනික ගනුදෙනුකරුවන්ට සහාය වීම අපගේ අරමුණයි” යනුවෙන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *