පුවත්

කොළඹ අවධමනය නොවැම්බරයේදී තවත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතු පිට උද්ධමනය අඛණ්ඩව තුන්වන මාසයටත් ඍණ අගයක් (අවධමනයක්) ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට -0.8ක අවධමනයට සාපේක්ෂව 2024 නොවැමබර් මාසයේදී සියයට -2.1ක අවධමනයක් වාර්තා කර තිබේ. දත්ත වාර්තා පෙන්නුම් කරන ආකාරයට 1961 වසරෙන් වසර 61කට පසුව ශ්‍රී ලංකාව තුළ වැඩිම අවධමනයක් වාර්තා වූ අවස්ථාව ලෙසින්ද මෙය සැලකෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන දත්ත අනුසාරයෙන් මහ බැංකුව මෙම කරුණු ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව මෙලෙස උද්ධමනය ඍණ අගයක් ගෙන ඇතැයි මහ බැංකුව පවසයි.

මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට -1.6 සිට, නොවැම්බර් මාසයේදී -3.3ක් දක්වා තවදුරටත් පහළවැටී තිබේ.

එසේම ආහාර කාණ්ඩයෙහි උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 1 සිට නොවැම්බර් මාසයේදී සියයට 0.6ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර ඉදිරි මාසවලදී මතුපිට උද්ධමනය පෙර පුරෝකථනවලට වඩා වැඩි අවධානමක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව පවසයි. එහිදී ප්‍රධාන වශයෙන් බලශක්ති මිල ගණන් විශාල වශයෙන් පහළ යෑම සහ නිතර මිල උච්ඡාවචන සහිත ආහාර මිල ගණන් අඩුවීම හේතුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව උද්ධමනය ධන අගයකට පත් වී, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහායෙන් මැදිකාලීනව 5%ක ඉලක්කගත මට්ටම් හා සමපතා වනු ඇතැයි අපේක්ෂා කරන බවත මහ බැංකුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *