පුවත්

Moody’s ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට අවධානයක

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම දැනට තිබෙන Ca මට්ටමේ සිට review for upgrade (මට්ටම ඉහළ දැමීම සඳහා වන සමාලෝචනයකට) තත්ත්වයකට පත් කරන බව පවසයි.

පෙරේදා දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ බව සඳහන් කර තිබේ. Moody’s ආයතනය ලබා දී තිබූ මෙම Ca ශ්‍රේණිගත කිරීම යනු ශ්‍රී ලංකාව ණය නොගෙවූ රාජ්‍යයක් ලෙස සිදු කර තිබූ සඳහනකි. ශ්‍රී ලංකාව සතු දිගුකාලීන විදේශ විනිමය අනුපාතය යටතේ මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබුණී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සිය විදේශ වානිජ ණය හිමියන් සඳහා නිවේදනය කර ඇති ජාත්‍යන්තර බැඳුම්කර හුවමාරු වැඩසටහනත් සමගින් Moody’s ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම වෙනස් කිරීමට අදහස් කරගෙන සිටින බව පවසයි.

Moody’s සමාගමට අනුව මෙම බැඳුම්කර හුවමාරු වැඩසටහන සාර්ථක වුවහොත් පුද්ගලික අංශයේ ණය හිමියන් සතු ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන අතර, ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන නව සහ අනාගත බැඳුම්කර නිකුත් සඳහා වන ගෙවීම් පැහැර හැරීමේ අවදානම අඩු කරගත හැකි බවත් පවසයි.

ශ්‍රී ලංකාව 2022 වසරේ මැයි මාසයේදී පළමුවරට විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට පියවර ගත් අතර, සිය විදේශ විනිමය සංචිතයේ සිදුවූ පහත වැටීම ඊට හේතුව විය.

මේ අතර Moody’s ආයතනය ශ්‍රී ලංකා රජය විසින් මෙම බැදුම්කර හුවමාරුව හරහා නිකුත් කිරීමට නියමිත ඇ.ඩො.බි. 12.55 ජාත්‍යන්තර බැඳුම්කර සඳහා තාවකාලිකව ‘Caa1’ නම් ශ්‍රේණිගත කිරීම ලබා දීමටද තීරණය කර ඇතැයි වාර්තා පවසයි.

මෙම ‘Caa1’ ශ්‍රේණිගත කිරීම යනු ‘Ca’ ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථරයන් තුනක් ඉහළින් පිහිටියකි. ඒ අනුව බොහෝ විට  “ඉහළ දැමීම සඳහා වන සමෝලෝචනය” අවසන් වූ පසු ශ්‍රී ලංකාව සඳහාද මෙම ශ්‍රේණිගත කිරීම ලබා දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි සඳහන් වෙයි.

Views: 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *