අබාන්ස් පීඑල්සී වෙතින් රුපියල් බිලියන 2ක් වටිනා ණයකර නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අබාන්ස් පීඑල්සී සමාගම (ABNS.D0000) ණයකර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවා ගත හැකි වසර පහක කාලයක් සහිත ණයකර නිකුතුවක් ලෙස මෙය සිදු කරන බව අබාන්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 1කි.
වාර්ෂිකව ගෙවන 13%ක ස්ථාවර පොළි අනුපාතයක් මෙම ණයකර නිකුතුව සඳහා හිමි වන බවත් අබාන්ස් පීඑල්සී සමාගම පවසයි.
මූලික නිකුතුව වෙත හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීමටද සමාගම අපේක්ෂා කරයි. එහිදීද ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර තිබේ.
ඒ අනුව මෙම ණයකර කොටස් නිකුතු දෙක හරහාම රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 2ක් බව අබාන්ස් පීඑල්සී පවසයි.
ලබන දෙසැම්බර් 02 වැනිදා මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීම සමාගමේ සැලසුම වී තිබේ.
මෙම ණයකර නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස NDB Investment Bank Limited සමාගම කටයුතු කරයි.
Views: 25