CSE & SECපුවත්සමීක්ෂණ

සොෆ්ට්ලොජික් ලයිෆ් බදු පසු ලාභයේ 67%ක වර්ධනයක් වාර්තා කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ් සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමත් විය. පසුගිය වසරේ තෙවැනි කාර්තුව හා
සැසඳීමේදී එය 22%ක වර්ධනයකි.

මෙහිදී සමාගම විසින් වාර්තා කළ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 2.8ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 67%ක වර්ධනයකි. එසේම එහි බදු පෙර ලාභය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂන්‍ 63%කින් ඉහළ යමින් රුපියල් බිලියන 4ක් විය.

මෙම කාර්තුව තුළ සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් බිලියන 50.1ක් වූ අතර මුළු හිමිකම් වටිනාකම රුපියල් බිලියන 9.2ක් විය. තවද 120% ක නියාමන අවශ්‍යතාවන්ට සාපේක්ෂව සමාගම විසින් 2024 සැප්තැම්බර් මාසය වන විට කොටස් මත ප්‍රතිලාභ 29%ක් වාර්තා කරනු ලැබුවේ 360%ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාතයක් සනිටුහන් කරමිනි.

සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස 9ක කාලය තුළ සමාගම විසින් රුපියල් බිලියන 10.9ක හිමිකම් හා ප්‍රතිලාභ ගෙවීමටද සමත් විය. එම වසරේ පසුගිය කාර්තු දෙකෙහිදී සමාගම විසින් ගෙවනු ලැබූ හිමිකම් හා ප්‍රතිලාභවල වටිනාකම රුපියල් බිලියන 6.8කි.

2023 දත්ත මත පදනම්ව සෞඛ්‍ය රක්ෂණ වෙළෙඳපොල තුළ 36%කට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස නියමිත වේලාවට, සාධාරණව හිමිකම් ගෙවීමෙන් ඔබ්බට යමින් තම රක්ෂණ ඔප්පු හිමියන් වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. මෙම සුවිශේෂී කැපවීම නිසාම විශ්වසනීය හවුල්කරුවකු ලෙස අඛණ්ඩව එක්දින හිමිකම්
පියවීම් 80% ඉක්මවීමට සමත්ව ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරමින් සිටියි.

තෙවන කාර්තුවේ සමාගම විසින් වාර්තා කරනු ලැබූ සුවිශේෂී මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කර සිටියේ “සොෆ්ට්ලොජික් ලයිෆ්හි තෙවන කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය තුළින් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොල තුළ ප්‍රමුඛයා බවට පත්වීමේ අපගේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරනවා. එමෙන්ම රක්ෂණ ඔප්පුහිමියන් වෙත අපගේ පොරොන්දු ඉටු කිරීමට දක්වන කැපවීමද ඒ තුළින් දැකගත හැකියි. මෙම කැපවීම හේතුවෙන් Business Today සඟරාව මඟින් සිදු කළ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හිදී හොඳම ව්‍යාපාර 40 අතර පසුගිය වසරට වඩා ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට අපට හැකි වී තිබෙනවා.

නිරන්තරයෙන් විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම වෙනුවෙන් කැපවන අප නව්‍ය විසඳුම් තුළින් අපගේ
පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් මේ මොහොතේ සඳහන් කළ හැකියි.” යනුවෙනි.

සමාගමේ දළ ලිඛිත වාරික අනුපාතය පසුගිය දශකයක කාලය තුළ 26%ක ආකර්ෂණීය සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතයකින් වර්ධනය වී ඇත. සමස්ත කර්මාන්තය පසුගිය දස වසරක කාලයේදී වාර්තා කළ 14%ක දළ ලිඛිත වාරික වර්ධනය හා සැසඳීමේදී කොටස් මත ඉහළ ප්‍රතිලාභයක් වාර්තා කරමින් ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව සිටී.

එසේම මූලික ප්‍රමිතීන් මත වෙළෙඳපල නායකත්වය සනිටුහන් කිරීමද විශේෂත්වයකි. මේ වන විට සක්‍රිය රක්ෂණ ඔප්පු 750,000කට අධික සංඛ්‍යාවක් සමඟින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුයට කැපවෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකේය ජීවිත මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් රක්ෂණය කිරීමට ද කටයුතු කර ඇත.

Views: 40

Leave a Reply

Your email address will not be published. Required fields are marked *