“ප්‍රාග්ධන වෙළෙඳපොළ සුරක්ෂිත, සාධාරණ සහ කාර්යක්ෂම තැනක් කිරීම අරමුණයි“ – SEC සභාපති
ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වඩාත් සුරක්ෂිත, සාධාරණ සහ කාර්යක්ෂමතාවක් ඇති කිරීමේ අරමුණින් වෙළෙඳපොළ සංවර්ධනය සහ ශක්තිමත් නියාමන අධීක්ෂණය අතර සමතුලිතතාවයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) වත්මන් සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා අවධාරණය කරයි.
නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසුව SEC වෙබ් අඩවිය තුළ අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සුරක්ෂිත, සාධාරණ සහ කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වන බව සහතික කිරීම අපගේ ප්රමුඛ වගකීමයි. කෙසේ වෙතත්, තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය වන පරිසරයක් නිර්මාණය කරමින් නවෝත්පාදන සහ වර්ධනය ද දිරිමත් කළ යුතුයි.” ඒ මහතා පවසයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා ගතික සහ විනිවිද පෙනෙන ප්‍රාග්ධන වෙළඳපොළක් අතිශය වැදගත් බව පෙන්වා දී ඇති ඒ මහතා, ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ඇති කිරීම, වෙළඳපල මෙහෙයුම් වැඩි දියුණු කිරීම සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන දිගු කාලීන වර්ධනයක් සඳහා අඩිතාලම දැමීම ප්‍රමුඛතා ලෙස සඳහන් කරයි.
ඒ අනුව ඔහු කෙටිකාලීන, මැදි කාලීන සහ දිගුකාලීන උපායමාර්ගික සැලසුමක් ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී කෙටි කාලීන උපායමාර්ගය ලෙස වෙළෙඳපොළේ සුමට ක්‍රියාකාරිත්වය සහතික කිරීම සහ ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා කටයුතු කිරීම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අවධානය බවත් ඔහු පවසා සිටියි.
එසේම මැදි කාලීන උපායමාර්ගය ලෙස ප්‍රාග්ධන වෙළඳපොළට පරිවර්තනීය වෙනස්කම් ගෙන ඒම අරමුණු කර ගන්නා බවද හෙතෙම පවසයි. මෙයට කොළඹ කොටස් හුවමාරුව (CSE), ආයතනික ණය වෙළෙඳපොළ පුළුල් කිරීම සහ ආයෝජකයින් සඳහා අවස්ථා විවිධාංගීකරණය කිරීම සඳහා නව්‍ය ආයෝජන නිෂ්පාදන හඳුන්වාදීම ඇතුළත් වන බවත් පැවසෙයි.
“මේ අතරම තවත් රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම් දිරිමත් කිරීමටත්, විදේශීය හා දේශීය අරමුදල් ආකර්ෂණය කර ගැනීමටත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කරනවා. ඒ අතරතුරදීම ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ අධ්‍යාපනය සහ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමත් අපේක්ෂාවයි.“
මීට අමතරව දීර්ඝ කාලීන උපායමාර්ග ලෙස, අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ අනුවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයිද, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.
“ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි අවංකභාවය, විනිවිදභාවය සහ ඉහළම සදාචාරාත්මක ප්රමිතීන් ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. අපගේ නියාමන රාමුව ශක්තිමත් කිරීමෙන් සහ අනෙකුත් නවෝත්පාදනයන් හඳුන්වාදීමෙන්, අපේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම, සෑම තරාතිරමකම ආයෝජකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන වෙළඳපොළක් බිහි කිරීමටද උත්සාහ දරනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ණය මත යැපීම අවම කිරීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව තමා විශ්වාස කරන බවද සභාපතිවරයා පවසා සිටියි.
Views: 71