පුවත්

Asiri Academy of Health Sciences ප්‍රධාන සරසවි මණ්ඩපය කොළඹ දී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) විසින් එහි ප්‍රධාන සරසවි මණ්ඩපය කොළඹ 7, වෝඩ් පෙදෙසේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය.

නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම සරසවිය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කුසලතා සංවර්ධනය උදෙසා ආසිරි හෙල්ත් ගෙනයන මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

2030 වන විට ලෝකයේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල සෞඛ්‍ය සේවකයන් මිලියන 18ක හිඟයක් ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කර ඇත.

AAHS වෙතින් සිදු කළ මෙම කටයුත්ත තීරණාත්මක එකක් වන්නේ ගෝලීය සෞඛ්‍ය සේවා අංශයේ ඉල්ලුම වැඩි වෙමින් පවත්නා මෙවැනි මොහොතක වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා වර්ධනය වන ඉල්ලුමට සරිලන පරිදි සහ විදේශීය වෘත්තීය මාර්ග සඳහා අවස්ථා සලසමින්, සෞඛ්‍ය සේවකයන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපන සහ පුහුණු අවස්ථා විවර කර දීම මෙම නව මණ්ඩපයේ අපේක්ෂාවයි.

නවීනතම පහසුකම් රැසක් සහිත මෙම නව මණ්ඩපය තුළ හෙද නිපුණතා සඳහා ශ්‍රී ලංකාවේ ඇති හොඳම විද්‍යාගාරයක්, නවීන දේශන ශාලා හා ශ්‍රවණාගාර, පුස්තකාල පහසුකම් පමණක් නොව උසස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් ද ඇතුළු ඉහළම ඉගෙනුම් පරිසරයකින් ද සමන්විතය.

ආසිරි හෙල්ත් හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා අදහස් දක්වමින් “මෙම හඳුන්වා දීම සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ආසිරි හෙල්ත් අපේ කැපවීම ගැන දිය හැකි හොඳම නිදසුනක්. විශිෂ්ට සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන්, ඉහළම සම්පත් සහිත නවීනතම නිපුණතා විද්‍යාගාරයක් සමඟ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම පාසැල අපි ගොඩනඟා තිබෙනවා. රටේ යහපැවැත්මට දායක වන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ ඊළඟ පරම්පරාව නිර්මාණය කරන පරිසරයක් AAHS විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම, AAHS විෂය පථයන් පුළුල් කරමින්, සෞඛ්‍ය හා සම්බන්ධ නොවන වෙනත් උසස් තත්ත්වයේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් ද විෂය මාලාවන්ට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වනවා”. යනුවෙන් පැවසීය.

Views: 38