Eventsඅදහස්පුවත්රාජ්‍යවිදෙස්සංවර්ධන

තෙවැනි විවරණය සඳහා IMF කණ්ඩායම අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමට (EFF) අදාළ තෙවැනි විවරණය සඳහා එම අරමුදලෙහි නියෝජිත කණ්ඩායමක් අද මෙරටට පැමිණෙන බව එම අරමුදල පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශකවරියට අනුව ලබන නොවැම්බර් 23 වැනිදා දක්වා මෙම කණ්ඩායම මෙරට තුළ රැඳී සිටිමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ඇති කරගෙන තිබෙන එකඟතාවට අදාළ කරුණු සම්බන්ධයෙන් රජය සිදු කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳ විමසා බැලීමට නියමිතව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව සඳහා වන එම අරමුදලේ ජ්‍යෙෂ්ට මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම තෙවැනි විවරණය සඳහා සම්බන්ධ වෙයි.

විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ක්‍රියාත්මක කෙරී ඇති ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙන්ම එකඟාව සම්බන්ධයෙන් සිදු කර ඇති මුල පිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි සඳහන් වෙයි.

මෙම විවරණයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමෙහි තෙවැනි ණය වාරිකය අනුමත කිරීමටද නියමිතව තිබේ.

එම අරමුදල මගින් පසුගිය ජූනි මාසයේදී අනුමත කෙරුණු ඩොලර් මිලියන 336ක දෙවැනි ණය වාරිකයත් සමගින් මේ දක්වා එම ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහ මැතිවරණ රැළියකදී සිදුකළ අදහස් දැක්වීමකට අනුව මෙම තෙවැනි වාරිකය ලබන පෙබරවාරි මාසයේදී පමණ මෙරටට හිමිවනු ඇතැයි සඳහන් කර තිබුණි.

Views: 88