ඇමෙරිකානු සංචාරකයන්ට ආරුගම්බේ වෙත පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කෙරේ
ශ්‍රී ලංකාවේ ආරුගම් බේ ප්‍රදේශය තුළ සංචාරය සීමා කරන ලෙස සඳහන් කරමින් ඇමෙරිකානු පුරවැසියන් වෙත ලබාදී තිබූ සංචරණ උපදෙස ඉවත් කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා මෙම සංචරණ සීමාව පැනවූ අතර, එහිදී ආරුගම් බේ වෙත පැමිණෙන ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගනිමින් යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනාවරණය වීම ඊට හේතුව විය.
එහෙත් රජය එම අවදානම පිළිබඳව ක්‍රියාත්මක වී තත්ත්වය පාලනය කිරිමට කටයුතු කළ බව පැවසුණු අතර, ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙම සංචරණ සීමාවන් ඉවත් කරන ලෙසටද රජය ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් පසුගියදා ඉල්ලා තිබුණි. එසේම ආරක්ෂක ලේකම්වරයාද පසුගියදා ආරුගම් බේහි නිරීක්ෂණයකද නිරත විය.
ඒ අනුව මෙම සංචරණ සීමාවන් පිළිබඳ උපදෙස ලිහිල් කරමින් අද දිනයේදී නිවේදනයක් නිකුත් කර ඇති එම තානාපති කාර්යාලය, තවදුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදී ඇති සංචරණ උපදෙස් අනුගමනය කරන ලෙසටද සියලුම ඇමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම සැමවිටම අවධානයෙන් සිටින ලෙසත්, සිය වටපිටාවේ සිදුවන දේ පිළිබඳව දැනුවත්ව සිට යම් කිසි සැකකටයුතු සිදුවීමක් පිළිබඳව හෝ හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් දුරකතන අංක 119 ඔස්සේ බලධාරීන් දැනුවත් කරන ලෙසත් තානාපති කාර්යාලය දැනුම් දෙයි.
එසේම පුවත් සහ යාවත්කාලීන තොරතුරු පිළිබඳව දැන ගැනීම සඳහා සෑම විටම දේශිය මාධ්‍ය පරිශීලනය කරන ලෙසත් තානාපති කාර්යාලය ඇමෙරිකානු පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබේ.
Views: 47