පරාටේ නීතිය ඇතුළුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය පිළිබඳ රජය සහ බැංකු ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
ලබන දෙසැම්බර් 15 වැනිදායින් කල් ඉකුත්වීමට නියමිතව ඇති පරාටේ නීතිය (Parate Execution) ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය පිළිබඳව සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් ඊයේ දිනයේදී ජනාධිපති කාර්යාලයේදී පැවැත් වී තිබේ.
විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමේ රජයේ අවධානය යටතේ මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ. එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කර ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත් වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ඒ.ඩී. අමරකෝන්, සීමාසහිත ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහ ලේකම් ඉන්ද්‍රජිත් බෝයගොඩ, යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනෝජ් අක්මීමන, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් පෙරේරා, කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් සමරනායක, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ප්‍රතිසාධන හා පුනරුත්ථාපන නිලධාරී නිරෝෂ් පෙරේරා, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රී යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.
ඒ අනුව ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී තිබේ.
එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.
Views: 297