CSE & SECEventsපුවත්මූල්‍ය

වැලිබල් ෆිනෑන්ස් වෙතින් රු. බිලියන 3ක් වටිනා ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (VFIN.N0000) රුපියල් බිලියන 3ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ලැයිස්තුගත, වර්ගකෙරුණු, යටත්කෙරූ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගතහැකි ණයකර නිකුතුවක් ලෙස මෙම ණයකර නිකුතුව සිදු කරන බව වැලිබල් ෆිනෑන්ස් සඳහන් කරයි.

ඒ අනුව මූලක නිකුතුව යටතේ ලැයිස්තුගත, වර්ගකෙරුණු, යටත්කෙරූ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගතහැකි ණයකර කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කෙරෙන අතර, ඊට ලැබෙන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් (10,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී එක් ණයකර කොටසක වටිනාකම රුපියල් 100ක් ලෙස මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 3ක් (3,000,000ක්) ලෙස සටහන් කෙරී ඇත.

මෙම ණයකර A සහ B ලෙස වර්ග දෙකක් යටතේ ඉදිරිපත් කෙරී ඇති අතර, A වර්ගය යටතේ වසර පහකින් කල් පිරෙන ණයකරය, අර්ධ වාර්ෂික ලෙස ගෙවීම සිදු කරන අතර, එහි සථාවර කූපන් පොලී අනුපාතය වාර්ෂිකව 12.95%කි. A වර්ගයේ ණයකර නිකුතුවද වසර පහකින් කල් පිරෙන අතර, එය වාර්ෂික ලෙස ගෙවීම සිදු කරන අතර, ස්ථාවර කූපන් පොළී අනුපාතය වසරකට 13.37%ක් ලෙස සටහන් කෙරී ඇත.

වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි මෙම ණයකර නිකුතුව ලබන නොවැම්බර් 20 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කෙරෙන බවත් සමාගම පවසයි.

මෙම ණයකර කොටස් නිකුතුව සම්බන්ධයෙන් වන සමාගමෙහි සංස්ථා ප්‍රකාශනය හෙට දිනයේදී එළිදක්වන බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගම සඳහන් කර සිටියි.

Views: 137