අදානිගේ මුදල් ගෙවා විදුලිය කප්පාදුව වැළැක්වීමට බංග්ලාදේශය පියවර ගනී
ඉන්දියාවේ අදානි සමූහය බංග්ලාදේශයට ලබාදී ඇති විදුලිය සඳහා ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 800ක මුදලින් කොටසක් ගෙවා, සිදුවිය හැකි පූර්ණ විදුලි කප්පාදුවක් වළක්වා ගැනීමට බංග්ලාදේශ බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව අදානි සමූහය වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 170ක ණයවර ලිපියක් නිකුත් කරමින් මෙම ගැටලුව වෙත විසඳුමක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බංග්ලාදේශ බලශන්ති සංවර්ධන මණ්ඩලය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
අදානි සමූහය මගින් නැගෙනහිර ඉන්දියාවේ ක්‍රියාත්මක කරන මෙගාවොට් 1600ක ගල් අඟුරු දහන බලාගාරය මගින් මෙලෙස බංග්ලාදේශය වෙත විදුලිය සපයයි. මෙය බංග්ලාදේශයේ විදුලිබල භාවිතයෙන් 10%ක සැපයුමකි.
කෙසේ වෙතත් ලබන නොවැම්බර් 07 වැනිදාට පෙරාතුව බංග්ලාදේශ රජය මගින් අදානි සමූහය වෙත ගෙවිය යුතු මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් එම විදුලි බල සැපයුම අත්හිටුවන බවට එම සමූහය තර්ජනය කර තිබූ බවත් වාර්තා සඳහන් වෙයි.
අදානි සමාගම මගින් පසුගියදා ගනු ලැබූ තීරණයකට අනුව මෙම විදුලිය සැපයුමෙන් අඩක කප්පාදු කිරීමට තීරණය කෙරී තිබේ.
ඒ අනුව මෙම විදුලිය සැපයුම අත්හිටුවීම වළක්වා ගැනීම සඳහා බංග්ලාදේශය ක්‍රමානුකූලව සහ නිරන්තරයෙන් මෙම ගෙවීම් සිදු කරමින් අදාළ ගෙවීම් අර්බුදය විසඳීමට කටයුතු කරන බවත් බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය සඳහන් කර තිබේ.
මේ අතර බංග්ලාදේශය පසුගිය ජූලි මාසයේදී ඩොලර්මිලියන 35ක්ද, සැප්තැම්බර මාසයේදී ඩොලර් මිලියන 68ක්ද, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 97ක්ද අදානි සමූහය වෙත ගෙවා ඇතැයිද එම මණ්ඩලයේ නිලධාරියෙකු පවසා තිබේ.
Views: 111